විදුලි ගාස්තුව ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවීමට සිදුවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ප්‍රකාශ කරයි.
ජනතාවට බලපෑමක් නොවන ආකාරයට එම ජල ගාස්තු වැඩිවීම සිදුවන බවත්, එම යෝජිත සැලැස්ම විපක්ෂ නායක කාර්යාල වෙත ද යවා ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
“ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාව ගැන මම පසුගිය පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරලා තිබුණා. විදුලි බිල සියයට 66 කින් ඉහළ දමා ඇති බැවින් ජල සම්පාදන අංශය කළමණාකරණය සඳහා වැය වන මුදල රුපියල් මිලියන 425 වෙනවා. මීට අමතරව රුපියල් මිලියන 2,400ක ණය මුදලක් ගෙවනවා. ඊට හේතුව මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීමයි. එය නිවැරදි කිරීම සඳහා පියවරක් ලෙස මෙය සිදු කෙරෙන්නේ. ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධව උපදේශක කමිටු රැස්වීමක් හෙට දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. පවුලක පස් දෙනෙක් ඉන්නවා නම් ජලය පාවිච්චි කරන්නේ ඒකක 15ක් 20ක් විතරයි.ජල ගාස්තු ඉහළ දැමීමෙන් මොවුන්ට සහ සමෘද්ධි භාවිත කරන්නන්ට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ජල ගාස්තුව වැඩි කිරීමේ අදහස විපක්ෂ නායක කාර්යාලයට ද යවා තියෙනවා. අපිට මිනිස්සුන්ගේ බඩට ගහන්න අදහස් කරන්නේ නැහැ.”