ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

ජනාධිපතිවරණය එළැඹෙන ඔක්තෝබර් 5 වැනිදා හෝ 12 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළ බව අද (20) ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්විය හැකි දින පිළිබඳව අදාළ පාර්ශවවලින් උපදේශන ලබා ගැනීමෙන් අනතුරුව ඔක්තෝබර් 5 වැනිදා හෝ 12 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට සුදුසුම දින ලෙස තීරණය කළ බවයි එහි සඳහන් වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 1981 ජනාධිපතිවරණ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර දිනකදී පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසම නිල වශයෙන් පසුගිය සතියේදී ප්‍රකාශයට පත් කළා.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම පිළිබඳ එළඹෙන ජූලි 17 වැනිදායින් පසුව නිවේදනය කිරීමට මැතිවරණ කොමිසමට බලය තිබෙන බවත්, එම නිවේදනයෙන් පසු දින 16ත් 21ත් අතරතුර දිනයකදී අපේක්ෂකයන් නාමයෝජනා භාරදිය යුතු බවත් රත්නායක මහතා පැවසූ බව එහි සඳහන්.

විධිවිධාන වලට යටත්ව අවම දින 28කට සහ වැඩිම දින 42ක කාලයක් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයන්ට අවස්ථාව ලබා දෙන බව ද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා අවම වශයෙන් රුපියල් බිලියන 10ක මුදලක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙන බවයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ.

කෙසේ නමුත් මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් ගණන වැඩි වුවහොත් මෙම ඇස්තමේන්තුගත මුදල වැඩි විය හැකි බවත්, මැතිවරණය පවත්වන කාල සීමාව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටි බව එහි සඳහන්.