ජනප්‍රිය රංගන ශිල්පිනි හර්ෂී රසංගා අත් අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පිනියක් වන හර්ෂි රසංගා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත . ඒ රුපියල් ලක්ෂ 9 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ලබාගෙන එය නැවත ලබා නොදීම සහ එම මාලය හිමිකරුගේ අනුදැනුමකින් තොරව උකස් තැබීමේ චෝදනාව මත ඇය අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.

ඇය එම මාලය බත්තරමුරමුල්ලේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට උකස් තැබීමෙන් රුපියල් ලක්ෂ 06 ක මුදලක් ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. හිමිකරුගෙන් ලද පැමිණිල්ලක් අනුව තලංගම පොලීසියේ විවිධ පැමිණිලි අංශය විසින් හර්ෂි රසංගා යන අය අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත .

එහිදී සැකකාර හර්ෂි රසංගා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර සිටියේ තම සේවාදායිකාවට එම මාලය උකස් කර ඇති බවත් එය බේරා ගෙන හිමිකරුට නැවත ලබාදීමට හැකියාව පවතින බවත්ය.

අනතුරුව සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප 2ක් මත ඇප මත මුදා හැරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .

උකස් තැබූ රන් මාලය බේරාගෙන තලංගම පොලිස් ස්ථානයට භාර දෙන ලෙසත් අනතුරුව එය මීළඟ නඩුවාරයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය . නඩුව නැවත අප්‍රේල් මස 22 වන දින කැදවීමට නියමිතයි.

හර්ෂි රසංගා 2023 වසරේ සුමති සම්මාන උළෙලේදී නැගී එන නිළිය සම්මානයද දිනාගෙන ඇත .