ජනපතිට පොහොට්ටුවේ අඛණ්ඩ සහාය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාව පළකර තිබේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති අතර එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය ජීවන් තොන්ඩමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබේන බව වාර්තා වේ.

එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායකයින් පෙන්වා දී ඇත්තේ, පක්ෂය දැනුවත් වීමකින් තොරව ආණ්ඩුවේ වැඩසටහන් සඳහා සිය සාමාජිකයින් හට ආරාධනා කිරීම නුසුදුසු බවත් මින් ඉදිරියට ආණ්ඩුවේ යම් වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට කැඳවීමක් සිදුකරන්නේ නම් ප්‍රථමයෙන් පක්ෂය දැනුවත් කිරීමට පියවර ගන්නා බවට එහිදි ජනාධිපතිවරයා සමග එකඟතාවකට පැමිණි බවත් වාර්තා වේ.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිල වශයෙන් දැනුම්දීමකින් තොරව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ඇතුළු නියෝජිතයින් හට විශේෂ රැස්වීමක් සඳහා ජනාධිපතිවරයා ආරාධනා කර තිබූ නමුත් එම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී නොවු බව වාර්තා වේ.

එමෙන්ම ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ඉදිරියටත් ලබාදීමට එකඟතාව පළ වී ඇති අතර සියලු ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තීරණය කර තිබේ.

එමෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සෑම මසකට වරක් ජනාධිපතිවරයා සමග රැස්වීමක් පැවැත්වීමට ද එහිදි යෝජනා වු බව ද වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *