ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් සුවසෙවන රෝහල සහ ශ්‍රී ලංකා යුද හමුදාව අත්වැල් බැඳගනී

මහනුවර ප්‍රදේශයේ ප්‍රමුඛතම පෞද්ගලික සුවසේවා සපයන්නෙකු වන සුවසෙවන රෝහල පසුගිය දා ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. ඒ සුවසහන රක්‍ෂණ යෝජනා ක්‍රමයට දායකත්වය ලබා දෙමින් යුද හමුදා නිලධාරීන්ට සුවසෙවන රෝහල හරහා සෞඛ්‍ය සේවාවේ සහනදායී ප්‍රතිලාභ අත්කර දීමේ අරමුණෙන් යුතුවය. ජාතිය ආරක්‍ෂා කිරීම සඳහා දිවි හිමයෙන් කැපවන යුද හමුදා නිලධාරීන්ට සහන සැලසීමට සුවසෙවන රෝහල විසින් දක්වන කැපවීම මෙම ගිවිසුම හරහා තහවුරු විය. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතා, මේජර් ධනුෂ්ක කුමාර මහතා සහ ලුතිනන් කර්නල් ප්‍රේමචන්ද්‍ර මහතා සහභාගී වූ අතර සුවසෙවන රෝහල වෙනුවෙන් එහි ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී ශ්‍රීමත් වැලිවිට මහතා, අලෙවි විධායක ලක්‍ෂානි පෙරේරා මෙනෙවිය සහ ව්‍යාපාර සංවර්ධන නිලධාරී අශාන් ප්‍රේමචන්ද්‍ර මහතා සහභාගී වූහ. මෙම ගිවිසුම හරහා යුද හමුදා සාමාජිකයන්ට ගුණාත්මක සුව සේවාවක් වෙත ප්‍රවේශ වීමට ඇති අවස්ථා පුළුල් කරමින් ඉහළ ප්‍රතිලාභ අත් කර දෙනු ඇත. 

මෙම අවබෝධතා ගිවිසුමට අනුව සුවසහන රක්‍ෂණ හිමියන් සුවසෙවන රෝහලේ ඇතුළත් වීමේ ගාස්තුවලින් නිදහස් කරන අතර බාහිර රෝගී අංශයෙන් නොමිලේ උපදේශන සේවා ලබා ගැනීමටත් සුවිශේෂී වට්ටම් යටතේ වෙනත් විවිධ වෛද්‍ය සේවාවන් ලබා ගැනීමටත් අවස්ථාව සලසා ඇත. CT ස්කෑන්, MRI, Mammograms, X-rays සහ Ultrasounds ඇතුළු රසායනාගාර පරීක්‍ෂණ සහ විකිරණ පරීක්‍ෂණ සඳහා මෙන්ම ECHO සහ ECG පරීක්‍ෂණ සඳහා ද 20%ක වට්ටමක් හිමි වන අතර සුවසෙවන රෝහලේ නේවාසික වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේදී ද එම වට්ටම වලංගු වේ. මීට අමතරව හෘද සැත්කම් සඳහා රු. 50,000/=ක වට්ටමක් ලබා දෙන අතර රෝහලේ සිට කිලෝමීටර් 10ක දුරින් සිටින රෝගීන් සඳහා නොමිලේ ගිලන් රථ සේවාවක් ද සපයනු ඇත. 

“අපේ රටේත් ජාතියේත් ආරක්‍ෂාව සහ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ මෙහෙයක් ඉටු කරන ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් සෞඛ්‍ය සේවා සැපයීමට අවස්ථාව උදා වීම අප ලැබූ විශාල භාග්‍යයක් ලෙසයි අප සළකන්නේ. අපි නිරන්තරයෙන්ම උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය සේවා සැපයීමට උත්සහ කරන ආයතනයක්. රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටු කරන පාර්ශ්වයන්ට විශේෂිත සේවාවන් ලබා දීමට සුවසෙවන රෝහල වශයෙන් අප දක්වන අඛණ්ඩ කැපවීම මේ ඔස්සේ නැවත වරක් තහවුරු වෙනවා.” යැයි මෙම නව හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් සුවසෙවන රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී නලින් පැස්කුවෙල් මහතා ප්‍රකාශ කළේය. 

සුවසහන රක්‍ෂණ යෝජනා ක්‍රමය යුද හමුදා නිලධාරීන් වෙනුවෙන් වෛද්‍ය ආධාර සහ මූල්‍යමය ආධාර සම්පාදනය කිරීම අරමුණු කර ගත්තකි. රෝහල් ගතවීම්, මාරාන්තික රෝග සහ ආබාධිත තත්ත්වයන් ආශ්‍රිත වියදම්වලදී සැළකිය යුතු මූල්‍ය ආවරණයක් ලබා දෙන මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය රටේ සාමය ගොඩනැංවූ යුද හමුදා නිලධාරීන්ට මානසික සාමය පවත්වාගෙන යාමට මහෝපකාරී වෙයි. 

දශක හතරකට ආසන්න කාලයක් මහනුවර සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ විශ්වාසවන්තම සුවසේවා සන්නාමයක් වන සුවසෙවන රෝහල උසස් වෛද්‍ය තාක්‍ෂණය භාවිතය හා රෝගීන්ගේ සුවපහසුව පිළිබඳව නිරන්තර අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ඉහළ ප්‍රසාදයක් ලබා සිටියි. විශිෂ්ට පුහුණුවක් ලැබූ පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත සුවසෙවන රෝහල හරහා පුළුල් පරාසයක වෛද්‍ය සේවාවන් ලබා ගැනීමේ හැකියාව ඇත. රෝගීන්ගේ සුවපහසුව ඉලක්ක කර ගනිමින් ඉහළ ගුණාත්මක භාවයකින් යුතු සුඛෝපභෝගී කාමර 150කින් සමන්විත සුවසෙවන රෝහල කන්ද උඩරට ප්‍රදේශය තුළ ඉහළම ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍ය සේවාව සැපයීමට නිරන්තර කැපවීමෙන් කටයුතු කරයි.