සුසාන භූමියක් බවට පත්වූ ගාසා තීරයේ ලොකුම රෝහලට ඊශ්‍රායල් හමුදාව ඇතුළු වෙයි

ගාසා තීරයේ විශාලතම රෝහල වන අල්-ෂිෆා රෝහල සුසාන භූමියක බවට පත්වීමට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. රෝහල ඇතුළත සහ පිටත දහස් ගණනින් මළ සිරුරු ගොඩගැසී ඇති බවට එහි දී අනාවරණය වේ.

රෝහල තුළ බලශක්තිය නොමැතිකම හේතුවෙන් නොමේරූ ළදරුවන් දුසිම් ගණනක් සහ ඩයලිසිස් අවශ්‍ය වකුගඩු රෝගීන් 45 දෙනෙකුට නිසි ප්‍රතිකාර කළ නොහැකි තත්වයට උද්ගතව ඇතැයි එම සංවිධානය පවසයි.

පසුගිය දිනවල ප්‍රතිකාර නොලැබීමෙන් මියගිය පුද්ගලයින් 32 දෙනකු අතර නොමේරූ ළදරුවන් තිදෙනෙකු සිටින බවට අල්-ෂිෆා හි කළමනාකරු බීබීසියට ප්‍රකාශ කර ඇත.

ගාසා තීරයේ මැද ප්‍රදේශයේ ඇති එකම වෛද්‍ය මධ්‍යස්ථානය වන Aqsa Martyrs’ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෘද රෝග විශේෂඥයෙකු වන වෛද්‍ය ඊබ්‍රහීම් මාතාර් බීබීසීයට වාර්තා කරන්නේ, මේ වන විට මුළු රෝහලම තුවාලකරුවන්ගෙන් පිරී ඇති අතර නිවාස අහිමි වූ නිසා රෝහලට නවාතැන් ගත් සරණාගතයින්ගෙන් ද පිරී ඇති බවයි.

ඊශ්‍රායල-හමාස් යුද්ධය: විදුලිය ඇනහිටීමෙන් පසු ගාසාවේ අල් ෂිෆා රෝහලේ ඉන්කියුබේටර් ඉවත් කිරීමෙන් පසු අලුත උපන් බිළිඳුන් ඇඳේ තබා ඇති අයුරු (ඡායාරූප REUTERS )

එහි ඇත්තේ එක් ශල්‍යාගාරයක් පමණක් බවත් කාර්ය මණ්ඩලය සීමිත සංඛ්‍යාවක් වෛද්‍යවරයා අනාවරණය කළේය.

“එය ව්‍යසනකාරී වන අතර එය දුෂ්කර යි, අඛණ්ඩ වේදනාව සහ අඛණ්ඩ ප්‍රතිරෝධී ආසාදන හේතුවෙන් රෝගීන් පිරිහෙන බව අපි දකිනවා.”

“රෝහල තියෙන්නේ ඊශ්‍රායල හමුදාව පලස්තීනුවන්ට පළා යන ලෙස කියපු ප්‍රදේශයක.”

“අපි ඉන්නේ ගාසා තීරයේ මැද ප්‍රදේශයේ. වැඩි හරියක් ආක්‍රමණය තවමත් ගාසා නගරයේ. ඒ නිසා මෙතන නිහඬයි. නමුත් ඉස්පිරිතාලෙ ඇතුලෙ වැඩ පීඩනය වැඩියි, අපිට නිදාගන්නවත් යන්තම් වෙලාවක් හොයාගන්න බැරි තරම්.”

“කෑම අඩු වෙනවා, වතුරත් අඩු වෙනවා.”

පසුගිය දිනවල ගාසා නගරයේ රෝහල ආසන්නයේ සටන් ඇවිලී ගිය අතර ඒ අනුව ඇති වූ දැඩි ඉන්ධන හිඟය ප්‍රතිකාරවලට දැඩි බලපෑමක් එල්ල කර ඇත.

අල්-ෂිෆා රෝහල තුළ හමාස් සංවිධානයට අයත් පාලන මධ්‍යස්ථානයක් ඇති බවට ඊශ්‍රායලය විසින් දිගින් දිගටම චෝදනා කර ඇති අතර එම චෝදනාව හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කරයි.

පුද්ගලයන් 1200කට ජීවිත අහිමි කරමින් හා 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගනිමින් ඔක්තෝබර් 7 වන දින එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ය.

හමාස් පාලනයට යටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට ගාසා තීරයේ 11,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඉන් 4,500 කට වැඩි පිරිසක් ළමුන් බවයි.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය පවසනුයේ ඊශ්‍රායල් හමුදා අද උදයේ අල්-ෂිෆා රෝහලට ඇතුළු වුබවයි. මෙම රෝහල හමස් ත්‍රස්තයන්ට ත්‍රස්තවාදීනට රැකවරණය සපයන බව ඊශ්‍රායලය කිහිප විටක්ම පවසා තිබුනි.