ගාල්ලේ නගර සභාවේ අයවැයට පොලිසියත් කැඳවයි .

ජාතික ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එකව සභාව පිහිටවූ ගාල්ල මහ නගර සභාවේ අයවැය ලේඛනය ඉකුත් 15 වනදා වැඩි ජන්දයෙන් පරාජයට පත්වීමත් වීමෙ පසු අද (24) දෙවන වරටත් අයවැය ඡන්ද විමසීම පැවැත්වුණි. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 21ක් සහ විරුද්ධව ඡන්ද 15ක් ලැබී තිබුණි.

ඒ අනුව වැඩිඡන්ද 6 කින් අයවැය සභා සම්මත වූ බව දැනුම්දෙමින් නගරාධිපති සුනිල් ගමගේ සභාව කල්තබා පිටව ගොස් තිබුණි.

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය සභික ධූර 36කින් සමන්විතය.

කෙසේවෙතත් නගරාධිපතිවරයා විසින් සභාව කල්තබා පිටවීමත් සමග සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් නාගරික ලේකම්වරියට සභාවෙන් පිටවයෑමට ඉඩ නොදී සභාව තුළ රඳවාගන්නා ලදි . අනතුරුව විපක්ෂ මන්ත්‍රීවරයෙකු නගරාධිපති ආසනයේ අසුන්ගෙන යළිත් වරක් ඡන්ද විමසීමක් කැඳවීමට කටයුතු කළේය. එහිදී විපක්ෂව ඡන්ද 17 ලැබුණු අතර සභිකයින් 19 දෙනෙකු සභාවේ සිටියේ නැත.

ඒ සමගම උණුසුම් වූ සභාව පාලනය කිරීමට පොලිසිය කැඳවීමට ද සිදුවිය.

අද අයවැය ඡන්ද විමසීමට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරුන් නගර සභාව ඉදිරිපිට විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයකද නිරතවිය.