කම්කරු සහ ඉඩම් නීතිය වෙනස් නොකළොත් ආයෝජන නැතිව යනවා . ලෝක බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන විදේශීය සෘජු ආයෝජන (FDI) ප්‍රමාණය අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් පහළ අගයක පවතින බව ලෝක බැංකුව අනතුරු අඟවයි .

ඒ අනුව ශ්‍රී ලංකාව අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාවට නැංවීම අනිවාර්ය බව ඔවුන් අවධාරණයකරයි .

ලෝක බැංකුව පවසන පරිදි, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 1.5 ක මට්ටමක FDI තිබිය යුතු වුවත්, දැනට ළඟා කරගෙන ඇත්තේ සියයට 0.5ක් තරම් ඉතා සුළු අගයකි. රටේ සංවර්ධන අභිලාෂයන් වෙනුවෙන් මෙම අගය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව තම මතය බව ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව භාර රිචඩ් වෝකර් පැවසීය.

මීට පෙර පවා FDI ප්‍රවාහය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ක් පමණ වුවද, එය තවදුරටත් පිරිහීමකට ලක්ව ඇති බව ලෝක බැංකු නියෝජිතයෝ පෙන්වා දෙති. තවද, වියට්නාමය සහ මැලේසියාව වැනි සම කලාපීය රටවල් GDP යෙන් සියයට 3ක් වැනි ඉහළ FDI අගයන් වාර්තා කරන බවද, ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තත්ත්වය අයහපත් බව ඔවුහු පවසති..

2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක FDI ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ රජයේ ඉලක්කය කරා ලඟා වීමට නම් ශ්‍රී ලංකාවට විශාල වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට සිදුවෙයි . ඒ අනුව ශ්‍රී ලංකාව ව්දෙස් ආ‍යෝජන ඉහළ නැංවීම පිළිබඳව මීට වඩා උනන්දු විය යුතු බව ඕවුහු පෙන්වා දෙති .

ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේදී ඇති ප්‍රධානතම බාධාව වන්නේ ඉඩම් සඳහා ප්‍රවේශවීමේ දුෂ්කරතාවයයි. මෙරට ඉඩම්වලින් 80%ක්ම රජය සතු වීමත්, ඒවා නිලධාරිවාදය සහ අමාත්‍යාංශ පාලනය යටතේ පැවතීමත් නිසා විදේශීය ආයෝජකයෝ අධෛර්යමත් වෙති. මෙම තත්ත්වය කෘෂිකාර්මික අංශයේ ආයෝජන සඳහා විශේෂයෙන්ම අහිතකර ලෙස බලපා ඇත.

මීට අමතරව, දශක හයකටත් වඩා පැරණි කම්කරු නීති හේතුවෙන් ව්‍යාපාරික කටයුතු වල නම්‍යශීලීභාවය සීමා වීම තවත් ගැටලුවකි. මෙම නීති මගින් සමහර ක්ෂේත්‍රවල කාන්තාවන් සඳහා වන රැකියා අවස්ථා සීමා කිරීමද ආර්ථික වර්ධනයට බාධාවක් බව වෝකර් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ කම්කරු නීති නවීකරණය කිරිමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය උත්සහ ගත් නමුත් වෘත්තීය සමිති විරෝධය හමුවේ එය වැලකී ගියේය.