කථානායක වෙනුවෙන් නීතිපති පෙනී නොසිටී .

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කථානායකවරයා වෙනුවෙන් අද (27) අභියාචනා අධිකරණය හමුවේ නීතිපතිවරයා පෙනී නොසිටි බව වාර්තා වේ .

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ වගඋත්තරකාර කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවය. එම නඩුව කැඳවූ අවස්ථාවේ කථානායක ජගත් වික්‍රමරත්න වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කණගීස්වරන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේය.

නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

මෙම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබු අවස්ථාවේදී කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චායා ශ්‍රී නම්මුණි මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරය සමථයට පත් කිරීම සඳහා සලකා බැලීමට සූදානම් බවය.