පාඨලීව CID කැඳවූ හේතුව අපැහැදිලියි

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (30) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණියා.

ඒ ඔහු දැක්වූ අදහසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

මන්ත්‍රීවරයා අදාළ ප්‍රකාශය ලබා දීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසුවා,

රත්නපුර ප්‍රදේශයේ මා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න කියලා තමයි කියන්නේ..ඒ ප්‍රකාශය මොකක්ද? ඒකෙන් සිද්ධ වෙච්ච අපරාධමය වරද මොකක්ද කියන එක අපට දැනුම් දෙන්න කියලා අපි කිව්වා.ඒක අදටත් අපට දැනුම් දීලා නෑ.

ඉතින් අපි හිතනවා ඒ රත්නපුර ප්‍රදේශයේ දි මම කිව්වා මේ රටේ බදු වංචාකාරයෝ ගැන. මේ රටේ බදු වංචාකාරයෝ කෝටි ලක්ෂයක් බදු වංචා කරලා තියෙනවා. එහෙම තිබියදී තමයි මේ දුගී දුප්පත් මිනිස්සුන්ට සීනිවලට කිරිපිටිවලට, ඩීසල්වලට, පෙට්‍රල්වලට, විදුලි බිලට බදු ගහලා තියෙන්නෙ. ඉතින් සමහරවිට ඒ බදු වංචාකාරයෝ ගැන මගෙන් විමසන්න වෙන්න ඕනේ,

ඒ වගේම මම නිතරම ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ බැංකුවලට පොලු තියපු අය ගැන. මේ ළඟදි වාර්තා වුණා බැංකුවල තැන්පත්කරුවන්ගෙන් සියයට හැටක්ම, ඉතාම දුගී දුප්පත් තැන්පත්කරුවෝ ,රුපියල් 5000ක වගේ තැන්පත් තමයි තියෙන්නේ කියලා. නමුත් මිලියන ගණන් බිලියන ගණන් පොලු තියපු අය ඉන්නවා. ඇමතිවරුත් ඉන්නවා. ඒ පොලු තියපු අය අතරේ. ඉතින් සමහර විට ඒ ලැයිස්තුව අපි ඉල්ලලා තිබුණා. ඒ ලැයිස්තුව දීලා නැහැ තාම පාර්ලිමේන්තුවටවත් කොහෙටවත්. ඒක ගැන මගෙන් විමසන්නද කියන්න බැහැ.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!