එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පන්දු වාර 50ම, දඟ පන්දු යවන්නන් පස්දෙනෙකු පමණක් යොදා ගනිමින් ක්‍රීඩාකළ පළමු තරගය අද (21) බංග්ලාදේශයෙන් වාර්තා විය.
ඒ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති එම තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පන්දු යැවීම සඳහා දඟ පන්දු යවන්නන් පස් දෙනෙකු යොදා ගෙන තිබුණි.
මීට පෙර එක්දින ක්‍රිකට් තරගයකදී පන්දුවාර 44ක් දඟ පන්දු යවන්නන් යොදා ගනිමින් ක්‍රීඩාකළ අවස්ථා 03ක් වාර්තා වන අතර එම තරග සියල්ල ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ක්‍රීඩාකර ඇත.
එම තරග වන්නේ, 1996 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය, 1998 දී නවසීලන්ත කණ්ඩායමට එරෙහි පැවැති තරගය සහ 2004 දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පැවැති තරග වේ.
ඒ අනුව, බංග්ලාදේශ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවැති තරගය එක්දින ක්‍රිකට් ඉතිහාස වෙනස් කරමින් එක්දින ක්‍රිකට් තරගයකදී පන්දු වාර සියල්ල දඟ පන්දු යවන්නන් පමණක් යොදා ගනිමින් තරගකළ පළමු තරගය වේ.
මෙම තරගයෙදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 213ක් රැස්කළේය.
මෙහිදී බංග්ලාදේශය වෙනුවෙන් සෞම්‍ය සර්කාර් වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 45ක් ලබා ගත් අතර නායක මෙහෙදි හසන් මිරාස් පන්දු 58 කදී නොදැවී ලකුණු 32ක් රැස්කර ගත්තේය.
පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ගුඩකේෂ් මෝටි ලකුණු 65ක් ලබාදෙමින් කඩුලු තුනක් දවාගත් අද දිනයේ සාර්ථකම පන්දු යවන්නා විය.
මෙහිදී අකේල් හොසේන් සහ ඇලික් අතනාසේ කඩුලු දෙක බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වනවිට පන්දුවට පහර දෙමින් සිටී .