ඊශ්‍රායලයේ සිටිනා ශ්‍රී ලාංකිකයන් ගැන තානාපතිගෙන් ප්‍රකාශයක්

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වයෙන් ඊශ්‍රායලයේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි .

ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

“ඊයේ උදෑසන තමයි ඉරානයේ තෝරගත්ත ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළේ. ඒ අනුව උදෑසන 8.30ට වික්ටෝරියන් ගුවන්තොටුපළ වසා දැමුවා. ආගමන හා විගමන කටයුතු සඳහා. සියලුම මගීන් ගුවන්තොටුපළෙන් ඉවත් වුණා.

ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත සිටි බොහෝ දෙනෙකුට නැවත ඊශ්‍රායලයේ තමන්ගේ වාසස්ථාන වෙත පැමිණීමට සිදුවුණා. ඒ වගේම කොළඹ සිට ඊශ්‍රායලය වෙත පැමිණීමට බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් සිටිනවා. ගුවන් ගමන් නැවත ආරම්භ කරන තෙක් ඔවුන්ට ශ්‍රී ලංකාවේ රැඳිසිටීමට සිදුවෙනවා.

ඊශ්‍රායලයේ දින තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මාර්තු මාසේ දෙවැනිදා හවස වෙනකම්. ඒ කාලය තුළ පාසල් ඇතුළු පොදු ස්ථාන විවෘත කිරීමක් සිදු කරන්නේ නැහැ. සාමාන්‍ය අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වෙනවා. ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිදු අනතුරක් සිදුව නැහැ.

මේ තත්ත්වය තවත් දිනක් හෝ දෙකක් පවතින්න පුළුවන්. අද උදෑසන මේ කලාපයට අවසන් මිසයිල ප්‍රහාරය එල්ල වුණේ. ඉරානයේ පවතින තත්ත්වයත් එක්ක මිසයිල ප්‍රහාර අඩු වෙන්න ඉඩ තියෙනවා.”