ඊමානියා අරාබි පාසලේ උපාධි උත්සවය ආණ්ඩුව මගහ‍රියි .

තිහාරිය ඊමානියා අරාබි පාසලේ උපාධි ප්‍රධානෝත්සවයට ඇරයුම් ලද රජයේ මැති ඇමතිවරු එම උත්සවයට සහභාගී නොවීම මුස්ලිම් සමාජයේ බරපතල කළකිරීමට හේතුවී ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එමෙන්ම රජයේ මැති ඇමතිවරු එම උත්සවයට සහභාගී නොවුනද ලද ආරාධනාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊට සහභාගී වීමත්, එහිදී ඔහුට ඉහළ පිළිගැනිමක් ලැබීමත් නිසා ආණ්ඩුපක්ෂය තුළ නොසන්සුන් තාවයක් හටගෙන ඇතිබවද එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි .

මෙම අවස්ථාවට මීරිගම ප්‍රදේශය නියෝජනය කරනා ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරයා වන චමින්ද ලලිත් කුමාර පමණක් සහභාගී වී ඇත. එහෙත් ආරාධනා ලැබූ ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඇතුළු ඉහළ නිළධාරීන් කිසිවෙක් එම අවස්ථාවට සහභාගී නොවීම කැපි පෙනුන බව උත්සවයට සහභාගීවූවෝ පවසති . විපක්ෂයේ ආරාධිතයෝ සියළු දෙනාම පාහේ එම අවස්තාවට සහභාගී වී ඇති අතර එම පිරිස අතර සමගි ජන බලවේගය නියොජනය කරමින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ද සිටිබව වාර්තා වේ.

මෙම උත්සවයට ආරාධනා ලද රජයේ ඉහළ තනතුරු හොබවන පුද්ගලයන් කිහිප දෙනෙකුම හිතාමතා එම අවස්ථාව මගහැරියෙද යන්න පිළිබඳව පරීක්ෂණයක් කළයුතු බවට ජාතික ජනබලවේගයේ මූලස්ථානයට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවත් ඒ අනුව එම අවස්ථාවට ඇරයුම් ලැබී තිබියදීත් ඊට සහභාගී නොවූ මුනිර් මුලාෆර් ගෙන් කරුණු විමසීමට නියමිත බවත් වාර්තා වේ .

මේ පිළිබඳව පැවති මාධ්‍ය හමුවකට එක්වූ තිහාරිය ඊමානියා අරාබි විද්‍යාලයේ උප සභාපති අම්හර් හාකම්දීන් මවුලවී තුමාද ආණ්ඩුව නියෝජනය කරමින් උත්සවයට සහභාගී වීමට නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මුලාෆර් හට ආරාධනා කළද වෙනත් රාජකාරියක් ඇති බැවින් ඔහු සහභාගී වීම ප්‍රතිෂේප කළ බව තහවුරු කළේය .