ඊබ්‍රාහිම් සද්‍රාන් පරදා ශ්‍රී ලංකාව පළමු T20 තරගයේ ජය ගනී.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු විස්සයි විස්ස තරගය අද රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් වූ අතර එම තරගය ලකුණු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ, ලකුණු 160කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලකුණු 7ක් තුළ දී දවා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හැකියාව ලැබිණි. ඒ Farooqi විසින් යොමු කළ පන්දුවක් හමුවේ පැතුම් නිස්සංක ලකුණු 6 කට දැවීයාමත් සමඟයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු ත්‍රිත්වය ලකුණු 48ක් තුළ දී දවා ගැනීමට, ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පන්දු යවන්නන්ට හැකිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීමේ වගකීම තම කරට ගත්, අගනා පිතිකරණයක නිරත වූ නායක වනිඳු හසරංග පන්දු 32ක් තුළ ලකුණු 67ක් රැස්කර ගැනීමට සමත්විය.

පන්දුවට පහරදීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සදීර සමරවික්‍රම ලකුණු 25ක්, ධනංජය ද සිල්වා ලකුණු 24ක් ද ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Farooqi කඩුලු 3ක්, Naween – UL කඩුලු 2ක්, Omarzai කඩුලු 2ක් ද දවා ගැනීමට සමත්විය. Noor සහ Janat අතරේ එක් කඩුල්ල බැගින් ද බෙදී ගියේය.

ඒ අනුව ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කර ගත හැකි වූයේ, ලකුණු 156 ක් පමණි.

පන්දුවට පහර දීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිකරණයක නිරත වූ නායක ඊබ්‍රාහිම් සෙඩාන් ලකුණු 67ක් රැස් කර ගැනීමට සමත් විය. අවසාන ඕවරා කිහිපය තුළ තරගය සද්‍රාන් සහ ශ්‍රී ලංකාව අතර තරගයක් බවට පත් වෙනු දැකගත හැකිවිය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, මතීෂ පතිරණ කඩුලු 4ක්, දසුන් ශානක කඩුලු 2ක්, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ ඇන්ජලෝ මැතිව්ස් අතරේ එක් කඩුල්ල බැගින් ද බෙදී ගියේය.

ඒ අනුව තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලිය 1-0 ලෙසින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

දැහැමි මධුෂිකා – රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට