රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ලබාදීමට අපේක්ෂා කරන වාහන කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලුදෙනාට හිමි නොවන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි .
අද (11) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේ . මේ වනවිට දැනටමත් රජයෙන් වාහන ලබාදී සිටින පිරිසට මෙම අලුත් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බවය.
අයවැය කතාව පවත්වමින් පසුගිය දා ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවය සඳහා කැබ් රථ 1775ක් ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බවත් එම කැබ් රථ ලබාදීමට අපේක්ෂා කරන්නේ කා හටද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රජය අපේක්ෂා කරන සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට වාහන හිඟය බාධාවක් වී ඇති බවත්, මෙම තත්ත්වය සලකා බලා, රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසානයේ නැවත ආපසු බාරදීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බවත් ඔහු පැවසීය . ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල් මිලියන 12,500ක් වෙන් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී සඳහන් කළේය.
එහෙම තත්ත්වයක් තුළ අපේ හැකියාව අනුව රාජ්‍ය සේවයට වාහන 1,775ක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. රාජ්‍ය සේවයට වාහන සහ යන්ත්‍රෝපකරණ ලබාගැනීමේ අරමුණින් තමා මේ මුදල වෙන් කරලා තියෙන්නේ. ඊළඟට මන්ත්‍රීවරු 225ටම දෙන්නේ නැත. දැනට රජයෙන් වාහනයක් ලබාදීලා තියෙන අයට වාහනයක් උවමනා නෑ. උදාහරණයක් විදියට කැබිනට්, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට. විපක්ෂ නායකතුමාට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ආදි දැනට රජයෙන් වාහනයක් ලබාදීලා තියෙන අයට වාහනයක් දෙන්නේ නෑ.” අමාත්‍යවරයා පැවසීය.