ඉරාන විරෝධතාකරුවන් 12,000 ක් කොමෙයිනීගේ අනින් මරා දමයි .

ඉරානය පුරා පසුගිය දිනවල පැවැති විරෝධතා මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ දරුණු මර්දනය හමුවේ අවම වශයෙන් පුද්ගලයින් 12,000ක් පමණ මියගොස් ඇති බවත් විදෙස් වාර්තා පවසයි. Iran International පුවත් සේවයේ කර්තෘ මණ්ඩලය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම ඝාතන හුදෙක් අහඹු ගැටුම්වල ප්‍රතිඵලයක් නොව ඉහළ පෙළේ නියෝග මත සිදු වූ සැලසුම් සහගත මෙහෙයුමකි.

උත්තරීතර නායක අලි කමේනිගේ සෘජු නියෝගය මත සහ රජයේ ප්‍රධානීන්ගේ අනුමැතිය ඇතිව විරෝධතාකරුවන්ට සජීවී උණ්ඩවලින් වෙඩි තැබීමට නියෝග කර තිබූ බව වාර්තාව කියයි.

මියගිය පිරිසෙන් බහුතරයක් වයස අවුරුදු 30ට අඩු තරුණයින් වන අතර, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ බසීජ් (Basij) හමුදා විසින් මෙම වෙඩි තැබීම් සිදු කර ඇත.

තොරතුරු වසන් කිරීමට ඉරානයේ දැඩි ප්‍රවෘත්ති පාලනයක් ක්‍රියාත්මක වන අතර රජයට හිතවත් මාධ්‍ය ආයතන කිහිපයක් හැර අනි සියළු මාධ්‍ය ආයතන වසා දමා ඇත . අන්තර්ජාලය පසුගිය 8 වන්දා සිට අක්‍රීය කර ඇත. නිවෙස්වල ඇති චන්ද්‍රිකා ඇන්ටනා සහ පෞද්ගලික CCTV කැමරා පටිගත කිරීම් බලහත්කාරයෙන් ආරක්ෂක අංශ ඉවත් කරමින් සිටිනා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතාකරුවන් මර්දනය දිගින් දිගටම සිදු වුවහොත් ඉරානයට ප්‍රහාර එල්ල කරන බව ඇමරිකාව පවසා ඇතත්, රුසියාව දිගින් දිගටම ඉරාන රජයට සහයෝගය දක්වමින් සිටී . විරෝධතාකරුවන් හඳුනා ගැනීමට සහ මර්දනය කිරීමට අවශ්‍ය උසස් තාක්ෂණික උපකරණ සහ ඔත්තු බැලීමේ සහය රුසියාව විසින් ඉරානයට තව දුරටත් ලබාදෙමින් සිටිනා බව වාර්තා වේ.