පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම් නායක රෝහිත් ෂර්මා විසින් පාකිස්තාන වමත් වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩිගේ වේගවත් පන්දුවකට ඉතා දක්ෂ අයුරින් හයේ පහරක් එල්ල කළේය. රෝහිත් ෂර්මා තමා වෙත ඉල්ලවූ ප්‍රබල වේග පන්දුවලට නොබියව මුහුණ දුන් ආකාරය දක්නට හැකිවිය.
එම දසුනත් සමගම වහා රූපවාහිනී කැමරාව හැරවුණේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුම් පැලඳුම් කාමරයේ බැල්කනියේ සිටගෙන ක්‍රිකට් පිටිය දෙස මහත් ඕනෑකමින් බලාගෙන සිටින එක්තරා පුද්ගලයකු වෙතය. රෝහිත් ෂර්මා එල්ල කළ වේගවත් හයේ පහර දුටු ඔහු අත්පොලසන් හඬ නගන අයුරු දක්නට හැකිවිය. සජීවී කැමරාව මෙම අපූරු මිනිසාගේ දසුන් තත්පර ගණනාවක් පුරා විකාශය කළේය. මෙම දසුන් දුටු රූපවාහිනී ප්‍රේක්ෂකයන් වහා අන්දුන් කුන්දුන් විය. ඔල්වරසන් හඬ මැද මේ පෙන්වන මිනිසා කවරෙක්ද? දන්නා මතක ඇති කාලයක මෙවැනි පුද්ගලයකු ප්‍රේක්ෂකයන් දැක තිබුණේ නැත.
අතිශය මහත් කුතුහලයකි සාමාන්‍ය ප්‍රේක්ෂකයන් නොව ක්‍රිකට් ලෝකයේ සමහර දැවැන්තයන් පවා මෙම අපූරු මිනිසා කවුදැයි හඳුනාගත්තේ නැත. මෙම විශාල කුතුහලය මතම රූපවාහිනී ක්‍රිකට් නිවේදකයා සැණින් යමක් ප්‍රකාශ කරන්නට ගත්තේය. විනාඩියක් දෙකක් පමණ කෙටි වේලාවක් තුළදී මේ සම්පූර්ණ සිද්ධියම ගලායන්නට විය. නිවේදකයා මහත් කලබලයෙන් මෙම වදන් මුහුණන්නට ගත්තේය.
‘ඉන්දීය ඩ්‍රෙසින් රුම් එකේ බැල්කනියේ සිටින මේ පුද්ගලයා කවරෙක්ද ඇත්තටම ඔබ ඔහුව හඳුනන්නේ නැතිව ඇති. ඔබට ඔහුගේ සමීප රූප පවා දැන් පැහැදිලිව සජීවී රූපවාහිනියෙන් දැකිය හැකිය. මේ තමයි ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වමත් පන්දු යැවීමේ විශේෂඥයා වන නුවන් සෙනෙවිරත්න. ඔහු ශ්‍රී ලාංකිකයෙක්. නුවන් සෙනෙවිරත්න යනු ශ්‍රී ලංකාවේදී පළමු පෙළ තරග දෙකකට පමණක් ක්‍රීඩා කර ඔහුගේ ක්‍රිකට් දිවිය ඉතා අප්රකටව අවසන් කළ කෙනෙක්. ඔහුගේ එම ජීවිතයට දීර්ඝ කතාවක් තිබෙනවා. එහෙත් ඒ සියල්ල මෙතැනදී කියන්න වෙලාවක් නැහැ.
එහෙත් එකක් විශේෂයෙන්ම කිව යුතුයි. අද ඔහු පූර්ණ කාලීනව ඉන්දියානු ජාතික කණ්ඩායමටයි සේවය කරන්නේ. නුවන් සෙනෙවිරත්න ඉන්දීය කණ්ඩායමේ වමත් පන්දු යැවීමේ විශේෂඥයා මෙන්ම ප්‍රවීණ පුහුණුකරුවකු ලෙස කටයුතු කරනවා. අද ඔහුගේ සේවය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අතිශයින්ම වැදගත් වී තිබෙනවා. ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම්වල වේගවත් වමත් පන්දු යවන ක්‍රීඩකයන්ට නොබියව මුහුණදීමේ හැකියාව වර්ධනය කිරීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට විශාල මෙහෙයක් සිදුකර ඇත්තේ මෙම නුවන් සෙනෙවිරත්නයි. විශේෂයෙන්ම පාකිස්තානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයන්ට එරෙහිව එය සාර්ථකව සිදුව තිබෙනවා…’
රූපවාහිනී නිවේදකයා දිගින් දිගටම මහත් කලබලයෙන් කියවාගෙන ගියේය. රූපවාහිනී ප්‍රේක්ෂකයන් බහුතරයක්ම අන්දමන්දවී ගියේය. මෙවැනි ක්‍රිකට් ක්‍රීඩකයකු කිසිදු දිනෙක ශ්‍රී ලංකාව තුළ දැක නැතැයි ඔවුහු මුමුණන්නට වූහ. එහෙත් තර්කයක් හෝ විතර්කයක් හෝ නැත. ඒ කතාව සත්‍යයකි. ශ්‍රී ලංකාවේදී පළමු පෙළ තරග දෙකකට පමණක් ක්‍රීඩා කර තම ක්‍රිකට් දිවිය අප්රකටව අවසන් කළ නුවන් සෙනෙවිරත්න නම් එම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා අද මෙලෙස ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කැපීපෙනෙන චරිතයක් බවට පත්වූයේ කෙසේද?
මෙහි පිළිතුර සරල එකක් බැව් පෙනී ගියත්, මෙම කතාව බොහෝ සංකීර්ණ එකකි. මෙම නුවන් සෙනෙවිරත්න නම් අපූරු මිනිසා ගැන තවත් තොරතුරු සොයා බලන්නට පෙර අප පසුගියදා නිමාවට පත්වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇතිවූ සිදුවීමක් ගැන සොයා බලමු. ආසියානු කුසලානය ඉන්දියාව දිනාගැනීමෙන් පසුව ඉන්දියාවේ සුපිරි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වන විරාට් කෝලි මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ අපූරු කතාවකි. එය මෙසේය.
‘අපේ ක්‍රිකට් දිවිය සාර්ථක කරගැනීමට ප්‍රධාන වශයෙන්ම උදව් වුණු තිදෙනෙක් ගැන මම මතක් කළ යුතුයි. ඒ තමයි අපේ කණ්ඩායම වෙනුවෙන් කටයුතු කරන ‘ත්රෝඩවුන් විශේෂයන්’ (Throwdown Specialist) තිදෙනා. ඔවුන් තිදෙනා තමයි දයානන්ද් ගරානි, ශ්‍රී ලංකාවේ නුවන් සෙනෙවිරත්න නොහොත් ‘බව්වා’ සහ ඩී. රාඝවේන්ද්‍ර යන අය. මෙම පුහුණුකරුවන්ගේ අතිසුවිශේෂ වේගපන්දු යැවීමේ අභ්‍යාස මගින් අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලෝක මට්ටමේ පුහුණුවීමක් ලබාදී තිබෙනවා. මම මේ ප්‍රවීණයන් තිදෙනාට මගේ අවංක ස්තුතිය සහ ගෞරවය පිරිනමනවා.
පැයට කිලෝමීටර් 145ක් හෝ 150ක අධික වේගයකින් පන්දු යවන ක්‍රීඩකයන්ගේ ආකාරයට මෙම තිදෙනාත් අපට පන්දු යවමින් පුහුණුවීම් ලබාදුන්නා. එහිදී අපට එම සැබෑ අභියෝගයම ලැබුණා. එම පුහුණුකරුවන් එහිදී අපට සිදුකරන්නේත් පන්දුව විසි කිරීමට දරන ක්‍රියාවලියයි. සමහර අවස්ථාවලදී මෙම පුහුණු කිරීම් ඉතා තීව්ර බවක් ගනු ලබනවා. මෙම පුහුණුකරුවන් තිදෙනාගේ දායකත්වය විටෙක ඇදහිය නොහැකියි. අපේ සාර්ථකත්වය පිටුපස මොවුන් තිදෙනා සිටින බවට ඔබ මතක තබාගත යුතුයි. මේ අය තමයි අපට ක්‍රීඩාවේදී විශ්වාසය ඇතිකරන්නේ…’
ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව විරාට් කෝලි මාධ්‍යයට ප්‍රකාශ කළ මෙම කතාව ඉතා සුවිශේෂ එකකි. එම කතාව ඔහුගෙන් පමණක් නැවතුණේ නැත. ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මාද ඒ අයුරින්ම මෙම ක්‍රිකට් පුහුණු විශේෂඥයන් තිදෙනා ගැන මහත් සේ වර්ණනා කළේය. එම වදන් ටිකක් අසා සිටිමු.
‘අපේ කණ්ඩායමේ කටයුතු කරන වමතින් පන්දු විසිකිරීමේ විශේෂඥයන් තිදෙනාට ශ්‍රී ලංකාවෙන්ද දක්ෂයකු එකතු වී සිටිනවා. ඒ තමයි නුවන් සෙනෙවිරත්න. නුවන්ගේ පුහුණු කිරීමේ දක්ෂතා ගැන කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සහ කළමනාකාරීත්වය ඉතා පැහැදී සිටිනවා. ආසියානු කුසලානයේදී වේග පන්දු යවන්නන් රැසකට මුහුණ දීමට මෙම පුහුණු කිරීම් ඉතා ප්‍රයෝජනවත් වී තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් නුවන් සෙනෙවිරත්න මෙහි ගෙන්වා ගැනීම ගැන මම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා…’
මෙම අපූරු කතාව සැබැවින්ම පුදුමය දනවයි. ඉහත ලෝක ප්‍රකට ක්‍රිකට් නායකයන් දෙදෙනකු මෙලෙස වර්ණනා කර සිටින්නේ අපගේ ශ්‍රී ලාංකිකයකු ගැන නොවේද? දැන් ඔබ යම් පමණකින් මෙම නුවන් සෙනෙවිරත්න නම් මිනිසා ගැන කරුණු දන්නෙහිය. එහෙත් ඔහු ගැන කියැවෙන තවත් අපූරු වගතුග බොහෝය. එය සොයා බලමු.
නුවන් සෙනෙවිරත්න නමින් හඳුන්වන මෙම සුවිශේෂ මිනිසාගේ සම්පූර්ණ නාමය වන්නේ බටගොල්ලේ ගෙදර උදේනක නුවන් සෙනෙවිරත්න වෙයි. ඔහු උපත ලබා ඇත්තේ 1979 නොවැම්බර් 14 වැනිදා වන අතර, එනම් ඔහු දැනට 44 හැවිරිදි වියේ පසුවෙයි. මෙම දින වකවානු අනුව පෙනී යන්නේ ඔහුගේ 44 වැනි උපන් දිනය යෙදී ඇත්තේ ඉදිරි දින දෙකෙහිය. ‘මව්රට’ පුවත්පතේ අපි ඔහුට සුබ උපන්දිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමු. නුවන් සෙනෙවිරත්න මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ 2003 වසරේදී බව පෙනීයයි. එනම් හරියටම මෙයට වසර 20කට පෙරදීය. ක්‍රිකට් ක්‍රීඩාවේදී වමත් පිතිකරණය සහ පන්දු යැවීමේදී වමත් වේගවත් මාධ්‍යයෙන් ඔහු කටයුතු කර ඇත. ඔහු 2004 වසරේදී මුලින්ම සම්බන්ධ වී ඇත්තේ කොළඹ ක්‍රිකට් සමාජය (Colombo Cricket Club – CCC) සමගය.
එකල ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහුට ජීවනෝපාය සොයාගැනීමට කිසිදු මෙහෙවරක් ඉටු නොකළේය. ඔහු එවිට සිදුකළේ තමන් සතු වෑන් රථයක් මගින් පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමයි. ඔහුගේ ජීවිතය සරල එකක් නොවීය. මැදපෙරදිග රැකියාවකට ගොස් කටයුතු කළ අයෙක් ලෙසද නුවන් සෙනෙවිරත්නගේ ජීවිත කතාව කියයි. එම රැකියා දෙකම අසාර්ථක ව්‍යායාමයන් ලෙස පෙන්වා දෙයි. මුලින් CCC සමාජයටත්, පසුව NCC ක්‍රිකට් සමාජයටත් සම්බන්ධවී ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිරතවී ඇත. කෙසේ හෝ NCC සමාජයේ සිටි සමයේදී ඔහුට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චරිත් සේනානායක හමුවුණේය. චරිත් සේනානායකගේ හමුව නුවන් සෙනෙවිරත්න නොහොත් ‘බව්වා’ගේ ජීවිතය වෙනත්ම අතකට යොමුකරන්නට කටයුතු කළේය. මෙම හඳුනා ගැනීම ගැන චරිත් සේනානායක මෙවැන්නක් කියා සිටියි. ‘බව්වා’ යනු ඔහුගේ සුරතල් නාමයයි.
‘නුවන් යනු නිහතමානී පසුබිමක වෙහෙස මහන්සිවී වැඩකරන ළමයෙක්. මම ඔහුව මුලින්ම දුටුවේ ඔහු ශ්‍රී ලංකා ‘ඒ’ පිලට පන්දු රැකීමේ අභ්‍යාසවලට සහාය වෙමින් සිටියදීයි. ඔහු ක්‍රීඩකයන්ට පන්දු යැවීම් සිදුකරමින් සිටියා. ඔහුගේ දක්ෂතා සහ ආචාරධර්ම ගැන මම පැහැදුණා. එවක කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළේ මමයි. නුවන්ගේ සැබෑ දක්ෂතා නිසා ඔහුට උදව් කිරීමට මම තීරණය කළා. ඒ අනුව මම නුවන් නොහොත් ‘බව්වා’ එකල ක්‍රිකට් මණ්ඩලයේ සිටි රෝයි ඩයස් වෙත හඳුන්වා දුන්නා. එතැනින්ද පසුව මම ‘බව්වා’ එකල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් වෙතටත් හඳුන්වා දුන්නා.
බව්වාගේ හැකියාවන් ගැන ග්රැහැම් ෆෝඩ් මහත් පුදුමයට පත්වුණා. නුවන්ගේ අති වේගවත් පන්දු යැවීම ගැන පුදුමයට පත්වුණු ඔහු මගෙන් සිනාවෙවී ඇහුවේ ‘මේ ඇත්තටම මනුෂ්‍යයෙක්ද?’ කියායි. පසුව වහාම ග්රැහැම් ෆෝඩ් තීරණය කළා එංගලන්ත සංචාරයට නුවන්ව රැගෙන යන්න. ශ්‍රී ලංකා කණ්ඩායමට නිත්‍ය ගිවිසුමක් යටතේ නොවෙයි ඔහු ඒ වෙලාවේ කටයුතු කළේ. එම විදෙස් සංචාරවලදී ඔහු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමටද පන්දු යැවීමේ පුහුණුවීම් සිදුකළා. පසුව තමයි 2017 වසරේදී ඉන්දීය කණ්ඩායම ‘බව්වා’ ගැන මගෙන් විමසීමක් කළේ. මගෙන් කිසිම බාධාවක් තිබුණේ නැහැ. ‘බව්වා’ ඉන්දීය කණ්ඩායමට සේවය කිරීමට කැමැති වුණා. ඒ අනුව 2018 ඔහු ඉන්දියාවට ගියා. මම ඔහුට කිව්වා ඉන්දියාවේ වාසිය නිසා ශ්‍රී ලංකාවට සිදුවුණේ පාඩුවක් කියලා….’
නුවන් සෙනෙවිරත්න නොහොත් ‘බව්වා’ මුහුණ දුන් යම් අර්බුදයක් ගැන පුවත් 2015 වසරේදී ප්‍රකාශවී තිබුණා. එම සිදුවීම තමයි එවක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රොමේෂ් කළුවිතාරණ සමග ‘බව්වා’ යම් අර්බුදයක පැටලීම. වසර 8කට පෙර එම සිදුවීම පුවත්පත් මගින් වාර්තා කර තිබෙන ආකාරය දැකිය හැකිය. නුවන් සෙනෙවිරත්න විසින් රොමේෂ් කළුවිතාරණට පහරදෙනවා යැයි තර්ජනයක් සිදුකිරීම මෙම සිදුවීමයි. එම සිදුවීම රොමේෂ් කළුවිතාරණ විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයට පැමිණිලි කර ඇති අතර, පරීක්ෂණයක්ද පවත්වා ඇත.
අවසානයේදී නුවන් සෙනෙවිරත්නට කණ්ඩායම තුළ කටයුතු කිරීමට අවස්ථාව අහිමිවූ බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. 2015 සැප්තැම්බර් 23 වැනිදා ‘දිනමිණ’ පුවත්පතේ ක්‍රීඩා පිටුවේ මෙම සිදුවීම වාර්තා කර ඇති ආකාරය දක්නට ලැබිණි. එම පුවතේ සේයාරුවක්ද මෙම ලිපිය සමග පළකර ඇත. කෙසේ හෝ මෙම සිදුවීමත් සමග බව්වාගේ ක්‍රිකට් දිවියේ යම් කඩාවැටීමක් සිදුව ඇත.
එහෙත් ඒ සියලු දුර්භාග්‍ය කාලය නිමා වන්නේ 2018 වසරේදී ‘බව්වා’ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ කරුගැනීම මතය. ඔහු එදින සිට මේ දක්වා වසර 5ක් නොකඩවා ඉන්දීය ජාතික කණ්ඩායම වෙනුවෙන් ස්ථිර ලෙස සේවය කරයි. ඔහුට මේ වන විට ඉතා විශාල වැටුපක් සහ තවත් වරප්‍රසාද රැසක්ද ලබාදී ඇතැයි පැවසෙයි. ඔහු දැනට වසර 5ක් පුරා ඉන්දියානු ක්‍රීඩකයන් සහ අනෙකුත් පාලක මණ්ඩලය සමගද ඉතා සුහදව කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලකයන්ට වැඩක් ගැනීමට නොහැකි වූ ‘බව්වා’ අද ඉන්දියාව විසින් උපරිම මිලකට තක්සේරු කර හොඳින් මෙහෙවර ලබාගනිමින් සිටියි. මව්රට වෙබ් අඩවියෙනි
ප්‍රියන්ත හෙට්ටිගේ.