ඇඳක් ජනසතුකර සතුටුවීම සිඟිති සිහින දැකීමේ ප්‍රතිඵලයකි .

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඇඳන් 1001 කි. ඉන් ඇඳන් 1000 ක්ම අතහැර මේ දිනවල ලංකාවේ සමාජ මාධ්‍ය කථා කරන්නේ 1001 වන ඇඳ ගැනය . මේ ඇඳ වෙන්කර තිබුනේ රාජ්‍ය නායකයායා වෙනුවෙනි . එහෙත් මීට දෙතුන් දිනකට පෙර ඒ ඇඳ රටේ මහජනයාට වෙන්කිරීමට ජනාධිපති අනූර දිසානායක කටයුතු කළේය . ඒ අනුව දැන් ජයවර්ධනපුර රෝහලේ ඇඳන් 1001 ම ජනතාවට විවෘත බව ආණ්ඩුවේ හිතවාදීහු පවසති . එමතුදු නොව එය වත්මන් ජනාධිපතිවරයාගේ මහා පරිත්‍යාගශීලී බවට සහ ජනහිතකාමීත්වයට උදහරණයක් ලෙස ඕවුහු පවසති . එහෙත් ජයවර්ධනපුර රෝහල යනු කොළබ ජාතික රෝහල මෙන් නොමිලේ ප්‍රතිකාර කරනා ‍තැනක් නොවේ. එය මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත යුතු තැනකි .

ශ්‍රී ජයවර්ධනපුර රෝහල අපට හිමිවන්නේ පැහැඳිළිවම ජේ. ආර්. ජයවර්ධන ජනධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රික භාවය හේතුවෙනි . එහි අතීත කථාව සැවෙම දනිතත් සැකැවින් හෝ මෙහි සටහන් කළයුතුයයි සිතේ . දෙවන ලෝක සංග්‍රාමය නිමවීමෙන් පසු ජපානයට දඬුවම් පැමිණවීමට බොහෝ පාර්ශව යෝජනා කරනා ලදි . ඒ අනුව 1951 සැප්තැම්බර් 6 වෙනිදා පැවති සැන්ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුව ජපානයට තීරණාත්මක විය. එහිදී සියළු රටවල් සිටියේ ජපානයට දඬුවම් කළ යුතුය යන මතයේය . ජපානයට සම්භාධක පැමිණවීම සියළු දෙනාගේ මතය විය. එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ ජේ.ආර්. ජයවර්ධන අමාත්‍යවරයාය . ඔහු එහිදී ලෝකයේ මතයට බෞද්ධ දර්ශණය මත පිහිටා අභියෝග කළේය .

සියළු රටවල් පාහේ ජාපානයට දඬුවම් කරන්නට යෝජනාකරද්දී ලංකාවෙ ජේ .ආර් . ජපානයට සමාව දෙන්නට යෝජනා කළේය . ”නහී වේරේන වේරානී” යන බුදු වදන ගෙනහැර පාමින් කථාකළ ජේ .ආර් ගේ කථාව අවසානයේ ජපානයට සමාව දීමට ලෝකයට එකඟ නොවී බැරි විය . එදා සිට ජපානය ශ්‍රී ලංකාව සමග දැඩි සබඳතාවයක් පවත්වාගෙන ගිය බව රහසක් නොවේ. 1977 ජේ.ආර් ජයවර්ධන ශ්‍රී ලංකාවේ බලයට පත්වූ පසු ජපානය නොපැකිළිව කළ ගුණ දක්වන්නට ඉදිරිපත් විය. නව පාර්ලිමේන්තුව, රූපවහිනී සංස්ථාව සහ පේරාදෙණිය රෝහල වැනි ත්‍යාග රැසක් ලංකාවට ලබාදෙන්නට ජපානය කටයුතු කළේය .

ජේ ආර් ජපානයෙන් රෝහලක් ඉල්ලූ විට ජපානය ඇඳන් 1000 ක රෝහලක් ලබා දීමට එකඟ විය. ඒ ජපානය රටකට පරිත්‍යාග කළ ලොකුම රෝහලයි . ජේ ආර් ඉන් සෑහීමට පත් වූයේ නැත . ඔහු ඇඳන් 1001 ඉල්ලා සිටියේය . ජපන් නියොජිතයන් එක ඇඳක් වැඩියෙන් ඉල්ලන්නේ ඇයි දැයි ඇසු විට 1001 වෙනි ඇඳ තමාටා බව ජේ.ආර් පැවසූ බව කියවේ. ඒ ඇඳ එදා සිට වෙන්වූයේ රාජ්‍ය නායකයා, අග්‍රාමාත්‍යවරයා වැනි පුද්ගලයන්ටය. එහෙත් කිසිම දිනක ජේ.ආර් එම ඇඳ හෝ එම කාමරය ප්‍රයොජනයට ගෙන නැත . එහි මුල්ම රෝගියා ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයාය . ඔහු රෝහල් ගතවෙන්නේ ජ.වි.පෙ පාර්ලිමේන්තුවට එල්ලකළ බෝම්බ ප්‍රහාරය නිසාය . පසුව අගමැතිණී සිරිමාවෝ බණ්ඩාරනායක එහි නේවාසිකව ප්‍රතිකාර ලැබූවාය.

රාජ්‍ය නායකයාට වෙනමම රෝහල් කාමරයක් වෙන් කිරීම සාමාන්‍ය ස්වාභාවයය. ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළාට පෞද්ගලික රෝහල්වල පවා රාජ්‍ය නායකයාට වෙනමම කාමරයක් වෙනකර ඇත. එවැනි කාමර හුදු සමාන්‍ය රොගීන්ට වෙන්වන කාමරයකට වඩා වෙනස් වෙයි . එහි සිට රාජ්‍ය නායකයාට සිය කටයුතු මෙහෙයවීමට හැකි අතර ඔහුගේ ආරක්ෂක සහ කාර්යාලීය කාර්ය මණ්ඩලයට එහි ඉඩපහසුකම් ලබාදීම සිදු වෙයි . ජාතික ගුවන්සේවයේ පවා රාජ්‍ය නායකයාට අසුනක් ඕනෑම වේලාවක ලබාගත හැක්කේය . මෙවා පුද්ගල වරප්‍රසාද නොව රාජ්‍ය නායකයාට හිමිවන දේය . ජ.වි.පෙ දේශපාලනය තුළ පවතින පන්ති වෛරය නිසා ඔවුන් මෙවැනි පහසුකම් ඉවසන්නේ නැති බව පැහැදිළිය .

රාජ්‍ය නායකයා යනු කොතරම් සමාන කළද රටක සාමාන්‍ය ජනයාගෙන් වෙන්ස් තැනක සිට කටයුතු කරන්නෙකි . පෙට්ටි කඩවලින් කෑමට, සිතූ තැනක පාරේ බැස ඇවිදීමට, කටට එන දේ කීමට රාජ්‍ය නායකයාට නොහැක . හෙයින් වත්මන් ජනාධිපතිවරයා කළ යුත්තේ ජේ.ආර් මෙන් ලෝකයට දැනෙනා නායකයෙක් වීමට උත්සහ ගැනීමටය . ජේ.ආර් දක්කේ විසල් සිහිනයකි. ඔහු ඇඳන් 1000 රෝහලක් රටට ලබාදී උදම් ඇනුවේය . අනුර දිසානයකට ඇත්තෙ ඊට කුඩා සිහිනයකි . ඔහු ජේ.ආර් ඉදිකළ රෝහලේ එක ඇඳක් ජනසතුකර සතුටු වන්නේ ඒකය .

සිරිමා බන්ඩාරනායක ඉන්දු චීන යුද්ධය සමතයකට පත්කරන්නට සක්‍රීයව මැඳිහත් වූවාය . ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෝකයට කථාකර ජගත් නිවාස වසර ලබාගත්තේය. ලක්ෂ්මන් කදීර්ගාමාර් වෙසක් දිනය ජාත්‍යනතර සැමරුන් දිනයක් බවට පත්කරන්නට එක්සත් ජාතීන්ගේ සංවිධනය එකඟ කරගත්තේය . ඒ විසල් සිහින දුටු ලාංකික දේශපාලනඥයන් ලැබූ ජයග්‍රහණ කිහිපයකි . වත්මන් ජනාධිපතිද උත්සහ කළ යුත්තේ එවැනි නායකයෙක් වීමටය . ඒ සඳහා පුළුල් දේශපාලන කියවීමක් අවශ්‍යවන අතර රාජ්‍ය නයකයෙක් ලෙස තමා නියෝජනය කරනා රට ගැන ඔහුට අභිමානයක් තිබිය යුතුය . එවැනි අභිමානයක් තිබෙන්නේනම් ඔහු පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාව ”හුණ්ඩුවක්” බව කියන්නේ නැත .

කෝච්චියේ තේ වික්ක බව කියනා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝධි දේශපාලනිකව දකින්නේ මහා භාරතය නම් විසල් සිහිනයය . ඔහු කිසිම විචිකිච්චාවක් නැතිව ලෝක නායකයන් අතර හැසිරෙන්නේ ඒකය . ඒත් ජාතික ජනබලවේගයේ ඇත්තෝ තවමත් දකින්නේ විපක්ෂයේ දුටු ළමා සිහින පමණි . ජල කරාම විවෘතකිරීම, බස් නැවතුම් විවෘත කිරීම වැනි දේ කරමින් ඒවායේ ඡායාරූප උඩුගත කරමින් ඔවුන් සතුටට පත්වන්නේ ඒකය .