ආසියානු ක්‍රිකට් අර්බුදය දිග්ගැස්සෙයි . ඉන්දියාවට තවමත් කුසළානය ලැබී නෑ

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අවසන් වී අදට (2) දින 4ක් සම්පූර්ණ වුවද, ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමට කුසලානය හෝ ක්‍රීඩකයින් සඳහා පිරිනමන පදක්කම් ලැබී නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඉන්දීය කණ්ඩායමට කුසළාන හෝ ජයග්‍රාහකයින්ගේ පදක්කම් ලබා දෙන්නේද යන්න පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණීම සඳහා විශේෂ සාකච්චාවක් අද ඩුබායි හී පවත්වා තිබේ. එම රැස්වීමට ඉන්දීය ක්‍රිකට් උප සභාපති රජීව් ශුක්ලා ඇතුළු කිහිප දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබේ. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්චාව අවසන් එකඟතාවයකින් තොරව අවසන්ව ඇති බව වාර්තා වේ.

ආසියානු කුසළාන අවසාන තරගයේ ශූරතාවය ඉන්දියාව දිනාගත් අතර එම ශූරතාවය ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි විසින් ලබාගැනීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කරනා ලදි. මොහ්සින් නක්වි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේද සභාපතිවරයා වෙයි .

ඉන්දියාවට කුසලානය ලබාදීම සම්බන්ධයෙන් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මොහ්සින් නක්වි පවසා සිටියේ, ඉන්දියාවට කුසළානය ලබාදීමට තමන් එදිනම සූදානම්ව සිටි බවත්, තවමත් ඒ සඳහා සූදානම් බවය.

“ACC සභාපතිවරයා ලෙස මම එදිනම කුසලානය ලබාදීමට සූදානම්ව සිටියා. මම තවමත් සූදානම්. ඔවුන්ට කුසලානය ඇත්තටම ඕනනම් , ACC කාර්යාලයට ඇවිත් මගෙන් ලබාගන්න. ඒ සඳහා ඔවුන් සාදරයෙන් පිළිගන්නවා” නක්වි සිය ‘X’ ගිණුමෙහි දක්වා ඇත.