අපි දවස් තුනක් බස් නතර කළහොත් ආණ්ඩුව ඉවරයි . බස් ගැමුණු කියයි.

මත්ද්‍රව්‍ය භාවිත කර සේවය කරනා රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනා බවත් එවැනි පුද්ගලයන්ට බස් රථ ලබාදෙන බස් හිමියන්ගේ මාර්ග බලපත්‍ර අහෝසිකරනා බවත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක කල ප්‍රකාශයට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රතිචාර දවක්වයි .

මත්ද්‍රව්‍ය භාවිත කරනා රියදුරන් කවුදැයි සෑම මාර්ගයකම වේලා සටහන් කරුවන් හොඳින්ම දන්නා බවත් ඒ අනුව පියවරක් ගැනීම වෙනුවට බස් හිමියන් ඉලක්ක කර ආණ්ඩුව මර්ධණීය වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට උත්සහගන්න බවත් ඔහු සඳහන් කරයි . මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නේ පෞද්ගලික බස් රියදුරන් පමනක් නොවනා බව පවසන ඔහු ශ්‍රී ලංගම රියදුරන් පරීක්ෂා නොකරන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කර සිටී .

ආණ්ඩුව මේ ආකාරයෙන් කටයුතු කරන්නේනම් බස් හිමියන් තම බලය පෙන්වීමට සූදානම් බවත් දින දෙක තුනක් බස් රථ සේවයෙන් ඉවත් කළහොත් ආණ්ඩුවත් ඉවර බවත් ඔහු පවසයි .

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය .

” අපි මෙතරම් කලක් සහයෝගයෙන් වැඩ කළා . බස් කර්මාන්තය කරගෙන යන්නේ බොහෝ අමාරුවෙන්. අපි ආණ්ඩුවට කියනවා නිදාගෙන ඉන්න කොටි ඇහැරවගන්න එපා කියලා . අපි සූදානම් ආණ්ඩුවට බස් හිමියාගේ බලය පෙන්වන්න . ඇමතිවරයා කරන්න යන්නේ බස් හිමියෝත් නැතිකරලා ආණ්ඩුවත් නැතිවෙන වැඩක්”