අධික උෂ්ණත්වය නිසා ඉන්දියාවේ මරණ ගණන ඉහළට

පසුගිය දින තුන තුළ ඉන්දියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති දරුණු උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙනවා.

එම උණුසුම් කාලගුණය හේතුවෙන් සති අන්තයේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයින් 33 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.

එමෙන්ම ඔඩිෂා (ඔරිස්සා) ප්‍රාන්තයේ, අධික උණුසුම දරාගත නොහැකිව පුද්ගලයින් 20 දෙනෙකු පමණ මිය ගිය බව
එරට නිලධාරියෙක් විදෙස් මාධ්‍යට පවසා තිබෙනවා.

මෙම මරණ බොහොමයක් වාර්තා වූයේ ජූනි 1 වැනිදා ඉන්දියාව සිය මහ මැතිවරණය සඳහා වන ඡන්ද විමසීමේ අවසන් අදියරේ දී ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟයි.

සෑම වසර පහකට වරක්ම ඉන්දියාවේ මහ මැතිවරණය අප්‍රේල් සහ මැයි ගිම්හාන මාසවලදී පැවැත්වෙන නමුත් මෙම වසරේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මාර්තු 1 සිට මැයි 30 දක්වා අධික උෂ්ණත්වය නිසා රෝගීන් 24,849ක් පමණ වාර්තා වී ඇති බවයි.

උත්තර් ප්‍රදේශ්හි, සති අන්තයේ මියගිය අය අතර ස්වේච්ඡා පොලිස් භටයන්, ඡන්ද පොළ නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ සනීපාරක්ෂක කාර්ය මණ්ඩලය ද සිටින නවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

ප්‍රාන්තයේ ප්‍රධාන මැතිවරණ නිලධාරී පවසා ඇත්තේ මියගිය මැතිවරණ නිලධාරීන්ගේ පවුල්වලට රුපියල් මිලියන 1.5 ක (ඩොලර් 18,000; පවුම් 14,000) මුල්‍ය වන්දියක් ලබා දෙන බවයි.

උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ සහ බටහිර ප්‍රදේශයේ උෂ්ණත්වය පසුගිය සති දෙක තුළ සෙල්සියස් අංශක 45-46 දක්වා දින කිහිපයක් පැවති බව වාර්තා වෙනවා.

ඒ අතර ඇතැම් ප්‍රදේශවල සෙල්සියස් අංශක 50 දක්වා ද උෂ්ණත්වය ඉහළ ගිය බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෝසම් වැසි ආරම්භ වීම හේතුවෙන් ඉදිරි දිනවලදී උෂ්ණත්වය පහත වැටීමට ඉඩ ඇති බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

උෂ්ණත්වය අධික ප්‍රදේශවල විදුලි පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් දැඩි ජල හා විදුලි හිඟයකට මුහුණ දී සිටින බවද විදෙස් මාධ්‍යයේ සඳහන්.