කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම අද (26) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නොතීසි නිකුත් කළේය . ඒ හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම්පත සම්බන්ධයෙන් ඔක්තෝබර් 03 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නියෝග කරමිනි .
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ විමර්ශන අංශයේ ප්‍රධානියා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් මෙම අපේක්ෂිත ඇප ඉල්ලුම් පත ගොනුකර ඇත .
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික සේවකයින් යෙදවීම සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවහොත් අපේක්ෂිත ඇප ලබා දෙන ලෙස පෙත්සමෙන් ඉල්ලා සිටියේය.
වර්තමාන දේශපාලන පසුබිම හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන ක්‍රියාකළාපය සැලකීමේදී හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධූරය හෙබවු තමා කිසිදු නෛතික පසුබිමක් හෝ සාක්ෂිවලින් තොරව දේශපාලන එදිරිවාදිකම් මත ඇප ලබාදිය නොහැකි වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව ඔහු සිය ඇප ඇයදුම් පතෙන් කියා සිටී.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා අත්සන් කර ඇති ගිවිසුමක් සම්බන්ධයෙන් වන ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු ඇමැතිවරයාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට පසුගිය 8 වැනිදා දැනුම්දීමක් කර තිබුණි.
ඒ වන විට ඔහු විදේශ ගතව සිටි නිසා 8 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි ඔහුගේ නීතීඥයින් ලිඛිතව දැනුම්දී ඇත්තේ සිය සේවාදායකයා ලංකාවට පැමිණි පසුව ප්‍රකාශයක් ලබාදෙන බවය. එසේ තිබියදී ඔහු ශ්‍රීලංකාවට පැමිණෙන මොහොතේ ගුවන් යානයේ දොරටුව අසලටම පැමිණ කොමිසමේ නිලධාරීන් හිටපු ඇමැතිවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට වන ලිපිය භාරදී තිබේ.
ඒ අනුව කිසිදු නෛතික පසුබිමක් හෝ සාක්ෂිවලින් තොරව දේශපාලන එදිරිවාදිකම් මත හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් වලකින ලෙසට වන අපේක්ෂිත ඇප අයදුම්පත අද දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ ගොනු කර ඇත
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටියේය.