සුවසැරිය මාළිමාකරණය කරන්නට යයි

1990 සුව සැරිය ගිලන්රථ සේවාවේ නම සහ වර්ණ වෙනස් කිරීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධය පළ කරන ලදී.

දේශපාලනීකරණය කර මෙම වටිනා සේවාව විනාශ නොකරන ලෙසට ඔහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, 2018 අංක 18/19 අනුව සුවසැරිය පනත තමන් විසින් 2018 ජූනි මස 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි. මෙම පනතේ නිශ්චිත පරමාර්ථය වූයේ “1990 අනුව සුව සැරිය” නමැති පදනමක් මගින් මෙරට ඕනෑම තැනැත්තකුට නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාවක් සහ හදිසි ප්‍රතිකාර සේවාවක් ලබා දීම බව ඔහු පැහැදිලි කළේය.

”සුවසරිය පැය 24 පුරාම ක්‍රියාත්මක දිනකට කිලෝමීටර 28,000ක් ගමන් කරනා, දිනකට රෝගීන් 1050ක් රෝහල් කරා ගෙන යනු ලබන සේවාවකි . එය අද වන විට රටේ මිලියන 2.5කට අධික පිරිසකට සේවාව ලබා දී ඇත. අද වන විට හෘදයාබාධයක් වැළඳුන විට සියලු දෙනාම විශ්වාසයෙන් යුතුව සුව සැරියට කතා කරන්නට පුරුදුව සිටිනවා. මෙතරම් සාර්ථ්කව මෙම සේවාව සාර්ථකව ක්‍රියාත්මක වන තත්ත්වයකදී පවා එය වෙනස් කිරීමට “ඩිරෙක්ටිව් එකක්”ලබා දී තිබීම ගැන කණගාටුවෙනවා .

“1990 අනුව සුව සැරිය” යන නාමය ඉවත් කිරීමට (අයින් කිරීමට) උත්සාහ කිරීම, ගිලන්රථවල වර්ණ (පාට) වෙනස් කිරීමට උත්සාහ කිරීම, එමෙන්ම “ඔවුන්ගේ පාට දාන්න” යැයි දැනුම් දී තිබීම, සුව සැරිය සඳහා වන නිල ලෝගෝව (logo) වෙනස් කිරීමට උත්සාහ කිරීමට විරෝධය පල කරනවා” යයි පාර්ලිමෙන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පැවසීය.