සීනී බදු වංචාවට වඩා ලොකු අර්තාපල් බදු වංචාවක් සජිත් හෙළිකරයි

අර්තාපල් හා ලූනු සඳහා පනවා ඇති බදු හේතුවෙන් ගොවීන්ට කිසිදු සහනයක් හෝ ප්‍රතිලාභයක් නොලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි .

ඔහු පෙන්වා දෙන්නේ සීනි බදු වංචාවට සමාන වූ අර්තාපල් බදු වංචාවක් සිදුවී ඇත්දැයි තමා රජයෙන් ප්‍රශ්න කරන බවයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ, දේශීය බී ලූනු වගාකරුවන් රැකගැනීමේ අරමුණින් බදු පැනවීමේ අරමුණ වුවද බද්ද පැනවීමට පෙර විශාල වශයෙන් බී ලූනු තොග රටට ආනයනය කර ගබඩා කොට තිබූ බවයි.

එමෙන්ම, ගොවියාට බදු සහන අවශ්‍ය මොහොතේදී එය ලබා නොදීම රජයේ අදක්ෂකම පෙන්වන කාරනාවක් බවත්, එම හේතුවෙන් සමස්ත ගොවි ජනතාවම විපතට පත්ව ඇති බවට විපක්ෂ නායකවරයා පවසයි .

මෙම කරුණු අනාවරණය වූයේ මින්නේරිය ආසනය කේන්ද්‍ර කරගනිමින් පැවති “ගමින් ගමට – දොරින් දොරට” විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වෙමිනි.