සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි .

2025 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර ඉන් 382,249දෙනෙකු පාසල් අයදුම්කරුවන් වේ.

පෞද්ගලික අයදුම්කරුවන් 69,214 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටියි .

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3545ක දී විභාගය පැවැත්වීමට නියමිත අතර විභාග කටයුතු සදහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇත .

මෙවර 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සියළු විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් කරයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමෙහි ඇති කාලසටහන ගැන පමණක් අවධානය යොමුකරන ලෙසය.

පසුගිය වසරට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය පෙළ ගැස්ම පස්වන, හයවන, හත්වන සහ අටවන දිනයන් හි වෙනස් කර ඇති බැවින් නිවැරදි කාලසටහන පමණක් භාවිත කරන ලෙස ද ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. සෑම අපේක්ෂකයෙකුම සිය අනන්‍යතා පත්‍රය විභාග අවසන්වන තුරු රැගෙන යා යුතු බවද ඇය අවධාරණය කළාය.

ඒ සඳහා පාසල් අපේක්ෂකයින්ට ජාතික හැදුනුම්පත, රියදුරු ගමන්පත්‍රය හෝ විදෙස් ගමන් බලපත්‍රය භාවිත කළ හැකි අතර, පෞද්ගලික අපේක්ෂකයින්ට අවශ්‍ය නම් ජායාරූප දෙකක් ග්‍රාමනිලධාරීවරයා විසින් ලවා සහතික කරගත් තාවකාලික හැඳුනුම්පතක් භාවිත කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම්දෙයි.