සයිනොපෙක් තෙල් පිරිපහදුව ගැන විදේශ ඇමති ගෙන් ඉඟියක්

හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 පළමු කාර්තුවේදී අවසන් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසීය .

මෙරට කෙටි සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සමග අද (12) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇතිබව වාර්තා වේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 2027 වසරේ දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය ඒකාබද්ධව සැමරීමට ද දෙපාර්ශ්වයම එකඟ වූ බවයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර සියවස් ගණනාවක් පැවති සුහදත්වය සහ දශක හතකට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු තහවුරු වූ දිගුකාලීන මිත්‍රත්වය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ තව දුරටත් තහවුරු වනු ඇති බව චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත .