ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ චූදිතයෙක් වන හමුදා බුද්ධි නිලධාරියෙකුට උසස්වීම් ලබාදීමට එරෙහි වීම නිසා තමන්ට මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසනවා.
අද (05) විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ චූදිතයෙකු වන එරන්ත රදීශ් පීරිස් නමැති නිලධාරියාට බ්‍රිගේඩියර් තනතුරට උසස්වීම් ලබාදීමට එරෙහිව තමන් ජනාධිපතිවරයාට ලිඛිතව විරෝධය පළ කළ බවයි.
එම උසස්වීම අත්හිටුවීමට ජනාධිපතිවරයා පියවර ගත් පසු, ජනවාරි 16 වැනිදා තමන්ට ලැබුණු දුරකථන ඇමතුමකින් මිනී පෙට්ටියේ දිග පළල විමසමින් මරණීය තර්ජන එල්ල කළ බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නීය .
“දිග පළල දෙන්න කියලා මගෙන් ඇහුවා. මොකේ දිග පළලද ඇහුවම කිව්වේ උඹේ මිනී පෙට්ටියේ දිග පළල දෙන්න කියලා. උඹේ මිනිහත් පිම්බුනානේ, උඹත් පිම්බෙන්න එපා කියලා තර්ජනය කළා,” යනුවෙන් ඇය එම තර්ජනාත්මක හඬපටය මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පැවසුවාය .
ඇය පවසන්නේ, මෙම මරණීය තර්ජනය සම්බන්ධයෙන් ජනවාරි 17 වැනිදා වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ඨාසයට පැමිණිලි කළ බවය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනවාරි 19 වැනිදා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දුන් මුත්, මේ දක්වා ජනාධිපතිවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් හෝ හමුවීමට අවස්ථාවක් ලැබී නොමැති බව ඇය පැවසූවාය .
වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ පැවසූවාය .
”අධිකරණයේ විභාගවන අපරාධ නඩුවක චූදිතයන් විසින් වින්දිතයන්ට මෙලෙස තර්ජනය කිරීම රටේ නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණ පද්ධතියට කරන අපහාසයක් බවයි මම හිතන්නේ . දුරකතන හඬපටයට අනුව “නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ” යන තැනට වැඩ සිදුවන බව පෙනවා. මේ නඩුව දැන් වසර 16ක් තිස්සේ අහනවා . අවම වශයෙන් සතියකට දින තුනක්වත් විභාග කර මෙම වසර අවසන් වීමට පෙර තීන්දුවක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා”