ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් .

ශ්‍රි ලංකාවේ උසස් පෙළ විභාගයට සමාන විභාගයක් රුසියාවේ දී හැදෑරු සිසුවෙකු තමාට මෙරට වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කරනා ලදි .

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු මෙම පෙත්සම ගොනු කර තිබුණි.

තමා රුසියාවේදී පෙනී සිටි විභාගය මෙරට අ.පො.ස උසස් පෙළ විභාගයට සමාන එකක් බවත්, එහි ප්‍රතිඵල මත මෙරට වෛද්‍ය පීඨයකට ඇතුළුවීම සඳහා ඉඩ නොදීම මගින් තම මූලික මිනිස් අයිතිවාසිකම් කඩවූ බවත් එම සිසුවා සිය පෙත්සම මගින් ප්‍රකාශ කර තිබුනි .

එම ශ්‍රී ලාංකික ශිෂ්‍යයාට මෙරට වෛද්‍ය පීඨයකට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසියක් උල්ලංඝනය වී ඇතිබව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම සිසුවා වහාම මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ලෙසත් නියෝග කරමින් සිය තීන්දුව ඊයේ ලබාදුන්නේය.

ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද බව වාර්තා වේ .

පෙතසම්කරු කියා සිටින්නේ තමන් කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාලයකින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූ බවයි.

තම පියාට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරක් ලැබීමෙන් අනතුරුව තමාද රුසියාව බලා පිටත් වූ බවත්, එහිදී ඉන්දියානු, පාකිස්තානු හා බංග්ලාදේශ සිසුන් ඉගෙනුම ලබන පාසලකින් ජ්‍යෙෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය සමත් වූ බවත්, එය මෙරට අපොස උසස් පෙළ විභාගයට සමාන බවත් ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත .

ඉන් පසුව තමා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙරට රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අයඳුම්පතක් ඉදිරිපත් කළ අතර, ඊට අදාළ නිර්ණායකයන්ට තමා අයත් නොවන බව සඳහන් කරමින් අදාළ අයදුම්පත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළ බව ඔහු පවසයි .

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, ඉදිරිපත් වූ කරුණු සලකාබැලීමේදී පෙත්සම්කරු රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අදාළ නිර්ණායකයන් යටතේ සුදුසුකම් ලබා ඇති බවයි.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මැදිහත්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට බලයක් නොමැති බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල, පෙත්සම්කරුගේ අදාළ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට එම අමාත්‍යාංශය ගත් තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කළා.

මේ තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, පෙත්සම්කරු මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාල කොමිසමට නියෝග කළේය .