ශ්‍රී ලංකාවට අදාල යෝජනාවක් ජිනීවා සමුළුවේදී බලහත්කාරයෙන් සම්මත කරගනී .

අද (06) දින, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට අදාළ 60-L 01 දරණ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත වී ඇතිබව වාර්තා වේ .

යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අවශ්‍යදැයි විමසූ අවස්ථාවේ කිසිදු සාමාජික රටක් ඡන්දයක් ඉල්ලා නොසිටීම හේතුවෙන් එකී යෝජනාව ඡන්දයකින් තොරව සම්මත වූ බව මානව හිමිකම් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශ නිවේදනය කර ඇත .

මෙම යෝජනාවට අදාල යාවත්කාලීන කරන ලද කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 01 වන දින සභාගත කරන ලද අතර, එහි ප්‍රධාන සම-අනුග්‍රාහකයන් ලෙස එක්සත් රාජධානිය, කැනඩාව, මලාවී ඇතුළු රටවල් පහක් කටයුතු කරයි. යෝජනාව මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය, වගවීම සහ සංහිඳියාව තහවුරු කිරීම පිළිබඳ කරුණු වෙතය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කරමින් ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක සමුළුව අමතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව විසින් අදාළ 60-L 01 යෝජනාව ප්‍රතික්ෂේප කරන බවයි . විශේෂයෙන්ම, යෝජනාවට ඇතුළත් කර ඇති ඇතැම් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් සම්පූර්ණ එකඟතාවකට පැමිණීමට නොහැකි වීම ගැන ඇය සිය කණස්සල්ල පල කළාය .

මීට අමතරව, ශ්‍රී ලංකාව බලහත්කාරී ජාත්‍යන්තර ක්‍රියාමාර්ග පිළිගැනීමට සූදානම් නොවන බවත්, වගවීම සඳහා යෝජනා කර ඇති බාහිර යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ඇය අවධාරණය කළාය.

රජය විසින් සංහිඳියාව සහ මානව හිමිකම් ක්ෂේත්‍රයන්හි සැලකිය යුතු තීරණාත්මක පියවර කෙටි කලක් තුළ ගෙන ඇති බවත්, වඩාත් සාධාරණ වන්නේ දේශීය ක්‍රියාවලීන් මගින් ජනතාවගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවට ඉඩ ලබා දීම බවද ශ්‍රී ලංකා නියෝජිතවරිය වැඩිදුරටත් සඳහන් කළාය. එහෙත් ශ්‍රී ලංකාවෙ විරෝධය නොතකා මානව හිමිකම් කවුන්සිලය එම යෝජනාව සම්මත කර ගන්නා ලදි .

60-L 01 යෝජනාව මගින් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආරම්භ කර ඇති ක්‍රියාදාමය තවත් අවුරුදු දෙකක කාල සීමාවකට දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයන් අතරට එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඇතුළත් වන අතර, අනෙකුත් අතිරේක අනුග්‍රාහකයන්ගෙන් වැඩි දෙනෙක් යුරෝපීය රාජ්‍යයන් වීම විශේෂත්වයකි.