වසර 13කට පසුව ජනතා අයිතියට පැවරෙන උමා ඔය

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට භාරදීම ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රසියි මහතාගේ සහභාගිත්වයෙන් අද (24) දිනයේ සිදුවීමට නියමිතයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය (UOMDP) ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛ ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!