ලංකාව ‘IMF ඉලක්ක කිහිපයක්’ මග හැරලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ තුන්වෙනි ණය වාරිකයට ලබන 12 වැනිදා එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදෙනු ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ඉටුකළ යුතු ආණ්ඩුකරණයට අදාළ වැදගත් කැපවීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙමින් සිටින බවයි.

පසුගිය මැයි මාසය අවසන් වනවිට ඉටුකළ යුතු කැපවීම් 63 න් ශ්‍රී ලංකාව ඉටුකර ඇත්තේ කැපවීම් 32 ක් වන අතර කැපවීම් 16ක් ඉටු කිරීමට අපොහොසත් වී තිබෙනවා.

තවත් කැපවීම් 15 ක ප්‍රගතිය මැනීමට ප්‍රමාණවත් තොරතුරු නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.

ඉටුකිරීමට අපොහොසත්වූ කැපවීම් 16 න් 7ක් මූල්‍ය කළමණාකරනයටත්, 6ක් මූල්‍ය විනිවිදභාවයටත්, 3ක් දූෂණ මර්දන ක්‍රියාමාර්ගවලටත්, අදාළ වීමෙන් ශ්‍රී ලංකාව සිය ආණ්ඩුකරණයට අදාළ කටයුතුවල තත්ත්වය සංවර්ධනය කරගැනීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති බව පෙනී යන්නේ යැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරනවා.

ආණ්ඩුකරණයට අදාළ කැපවීම් නැවත නැවතත් ‘ඉටුකර නැති’ ලෙස වර්ග කිරීමට සිදුව ඇති තත්ත්වයක පෙනී යන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොමැති බව යැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!