ලංකාවට බාල ඖෂධ සැපයූ ඉන්දියානු සමාගමට වැඩ වරදී

ශ්‍රී ලංකාවට බාල ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වී ඇති ඉන්දීය ඖෂධ සමාගම සම්බන්ධයෙන් එරට මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ගුජරාට් හි ‘ඉන්දියානා’ නම් අදාළ ඖෂධ සමාගම විසින් සැපයූ, අක්ෂි ආබාධ සඳහා යොදාගනු ලබන ඖෂධයක් හේතුවෙන් මෙරට පුද්ගලයින් 30දෙනෙකුට පමණ ආසාත්මිකතා ඇතිවූ බවට ශ්‍රී ලංකා රජය විසින් එරට රජය වෙත දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා චෝදනා එල්ල වූ සමාගමට කැඳවීමක් සිදුකර ඇති ඉන්දීය ඖෂධ අපනයන කවුන්සිලය, සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට ද නියෝග කර තිබේ.

එමෙන්ම එම ඖෂධය නිෂ්පාදනය තාවකාලිකව නතර කිරීමටත්, නිකුත් කර ඇති ඖෂධ තොග යළි කැඳවීමටත්, ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එම ආයතනයට නියෝග කොට ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *