රටට ප්‍රධාන නීති කිහිපයක් හඳුන්වාදීමට සූදානම්

අපනයන ආර්ථිකයක් සමග රටේ ආර්ථිකය සීග්‍ර දියුණුවක් කරා ගෙන යාම වෙනුවෙන් ප්‍රධාන නීති කිහිපයක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් අරලියගහ මන්දිරයේ දී සංවිධානය කර තිබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින්.

රටේ ආර්ථික දියුණුව සඳහා මහබැංකුව ස්වාධීන කිරීමේ මහබැංකු නීතිය මේ වන විටත් සම්මත කර ගෙන ඇති බවත්, රාජ්‍ය ණය කළමනාකරණ නීතිය, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් මෙම ජූනි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එම අවස්ථාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙම නව නීති සම්මත කර ගැනීමට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරටට ණය ලබාදුන් අනෙකුත් රටවල් සමඟ ඇතිකරගෙන තිබෙන කොන්දේසි සියල්ලම ඉදිරියේ දී නීතියක් ලෙස ගෙන එන බවත් සඳහන් කළා.

රට ආර්ථික වශයෙන් අස්ථාවර වූ අවස්ථාවක සෑම පක්ෂයකම පිරිස් එක් කර ගනිමින් තමා ආණ්ඩුවක් නිර්මාණය කළේ රට ගොඩගැනීමට බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා අද එම වැඩපිළිවෙල සාර්ථක වී ඇති බවත්, නව නීති සම්මත කර ගනිමින් රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන්ද සියලු දෙනා එක් විය යුතු බවත් අවධාරණය කළා.

ඉදිරියේදී රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට සිදුවනු ඇති බවද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය සිදු කළ හැක්කේ නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් පමණක් බවද පෙන්වාදුන්නා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

“දැන් අපට මුදල් මුද්‍රණය කරන්න බැහැ. අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කොන්දේසියකට පැමිණ තිබෙනවා මුදල් මුද්‍රණය කරන්නේ නැහැ කියලා. එසේ නම් අපට තිබෙන එකම මාර්ගය ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමයි. අපට ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා අප දැන් අවසන් කරගෙන යනවා. ඊළගට පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කරනවා. ඒ අනුව මේ වසර තුළදී අප බංකොළොත්භාවයෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙනවා. නමුත් මෙම ආර්ථික ගැටලුව එතනින් අවසන් වන්නේ නැහැ. අපට ණය සහනයක් ලැබුණත් ඉතිරි මුදල් ගෙවිය යුතුයි.

ඒ නිසා අප ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා කර අපේ ආර්ථිකය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. ආනයන පදනම් කරගත් ආර්ථිකය වෙනුවට අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයකට අප ගමන් කළයුතුයි. අපි එම කොන්දෙසිවලට එකඟ වෙලා තිබෙනවා. අපට එයින් ඈත් වෙන්න බැහැ. එයින් ඉවත් වුණහොත් මෙම සහන නැති වෙනවා. ඒ නිසා මේ සමඟ ඉදිරියට යා යුතුයි.

එහිදී අප සෑමවිටම අයවැය අතිරික්තයක් පවත්වාගෙන යා යුතුයි. නැත්නම් ණය ගෙවීමට නොහැකි වෙනවා. අපි මෙම සියලු තීරණ ගත්තේ රට වෙනුවෙන්. දැන් අපට තිබෙන්නේ අපනයන ආර්ථිකයක් සමග සීග්‍රයෙන් ඉදිරියට යාමටයි. මේ වෙනුවෙන් අප නීති කිහිපයක් සකස් කර තිබෙනවා. ඉන් ඇතැම් නීති සම්මත කර තිබෙන අතර අනිත් ඒවා සම්මත කර ගැනීමට තිබෙනවා.

ඉන් පළමුවැන්න ලෙස අප මහ බැංකු නීතිය සම්මත කළා. මුදල් මුද්‍රණය කිරීම සහ රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම තහනම් කර මහ බැංකුවට ස්වාධීනත්වයක් ලබා දීමට එමගින් කටයුතු කළා. ඒ වගේම තවත් නීති 03 ක් සකස් කර තිබෙනවා. එයින් රාජ්‍ය ණය කළමනාකරණ නීතිය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. අපට ණය ලබාගත හැකි යම් සීමාවක් තිබෙනවා. එසේ නම් කොන්දේසි ගණනාවක් අනුව ණය ලබා ගැනීමටත්, ණය ආපසු ගෙවීමේදීත් අප එම නීතිය අනුව කටයුතු කළයුතු වෙනවා.

ඒ වගේම රාජ්‍ය මුදල් පනත ඉදිරිපත් කරනවා. මෙතෙක් කල් මුදල් පාලනය කළේ FR අනුවයි. අපි දැන් නීතියෙන් මුදල් පාලනය කිරීමට කටයුතු කළයුතුයි. රජයේ මුදල් හැසිරීම, ආදායම් එකතු කිරීම, මුදල් බෙදා හැරීම ඉදිරියේ දී මෙම නව නීතියට අනුව සිදුවන අතර අප එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

අප දැනටමත් පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය ආරම්භ කර තිබෙනවා. භාණ්ඩාගාරයට අමතරව තවත් ස්වාධීන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීම වෙනුවෙන් ආයතනයක් ඇති කර තිබෙනවා. ඒ අනුව එම ආයතන මෙම නීති දෙක යටතේ ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම ආර්ථික පරිවර්තන නීතිය අප ඉදිරිපත් කරනවා. මේ රටේ ආර්ථිකය අපනයන පදනම් කරගත් නව ආර්ථිකයක් බවට පත්කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් රටවල් සමඟ අප එකඟ වූ කොන්දේසි සියල්ලම නීතියක් ලෙස ගෙන එනවා. මෙම නීතිය සම්මත කර ගැනීම වෙනුවෙන් සහාය ලබා දෙන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකින්ම මම ඉල්ලනවා. මොකද මෙම නීති මත තමයි අපේ රටේ අනාගතය රදා පවතින්නේ.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!