මාදැල් ධීවර කර්මාන්තයට ට්‍රැක්ටර් යොදාගැනීම තහනම්.

මාදැල් කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය හේතුවෙන් වෙරළාශ්‍රිත පරිසර පද්ධතියට සහ අනෙකුත් ධීවර ප්‍රජාවට සිදුවන දැඩි අහිතකර බලපෑම් සැලකිල්ලට ගෙන පවතින නීති රාමුවට අනුකූලව කටයුතු කරනා ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මාදැල් ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

ට්‍රැක්ටර් සහ වින්ච් යන්ත්‍ර භාවිතය තහනම් කිරීමට එරෙහිව ඇතැම් ප්‍රදේශවල පැවැත්වෙන විරෝධතා පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, 1984 මාදැල් නියෝග මාලාවට අනුව, මාදැල් කර්මාන්තය යනු යාන්ත්‍රික ක්‍රියාකාරකම්වලින් තොරව, මිනිස් ශ්‍රමය පමණක් භාවිතා කරමින් සිදු කළ යුතු සාම්ප්‍රදායික රැකියාවක් බවයි.

“අලුතින් නීති පැනවීමක් සිදු කර නැහැ. පවතින නීතිය ක්‍රියාත්මක කිරීම පමණයි සිදු වන්නේ. දිවයිනේ ක්‍රියාත්මක මාදැල් 827න් අති බහුතරයක්, විශේෂයෙන් දකුණු පළාතේ ධීවරයින්, අදටත් ගැටලුවකින් තොරව මිනිස් ශ්‍රමයෙන් සාම්ප්‍රදායිකව කර්මාන්තයේ නිරත වෙනවා,” යැයි ඔහු පැවසීය.