මහින්දානන්දගේ තල්ලුවෙන් ‘පොහොට්ටු මන්ත්‍රීගේ’ කකුලේ අස්ථි බිඳේ

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

අද (03) පස්වරුවේ ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේ නික්ම යන අවස්ථාවේ පඩිපෙළ මතදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර බහින් බස්වීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

පසුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් තල්ලු කිරීම නිසා ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පඩිපෙළේ ඇදවැටී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරන අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත්තේ ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු ඇදවැටීමට ලක්වූ බවයි.

අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පාදයේ අස්ථි බිඳුමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවසිදුව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!