මනූෂගේ ඇප අයදුම්පත ගැන අධිකරණයෙන් නියෝගයක් .

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර තමා අපෙක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා සිටිමින් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කොළඹ මහේස්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත ලබන 8 වෙනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඒ එම අපෙක්ෂිත ඇප අයදුම්පත අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය ..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරියක් මෙම පෙත්සමට ලිඛිත විරෝධතා අධිකරණය හමුවේ ගොනු කර තිබුණි. ඒ සදහා පිළිතුරු ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස හිටපු ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ලබන අඟහරුවාදා වන විට අදාල ලිඛිත පිළිතුරු ගොනු කරන ලෙසට අධිකරණය දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම නඩුව ලබන 8 වැනිදා යළිත් සලකා බැලීමට අධිකරණය නියෝග කළේය.

හිටපු ඇමැතිවරයා විදේශ ගත වී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ගුවන් යානය අසලටම ගොස් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට වන දැනුම්දීමක් පසුගියදා කර තිබුණි. ඒ අනුව හිටපු ඇමැතිවරයා විසින් මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ගොනු කර තිබේ.