වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක භාවිත කිරීමෙන් සිරුරේ පැවැත්මට අවශ්‍ය බැක්ටීරියා පවා විනාශව ගොස් ප්‍රතිරෝධී බැක්ටීරියා නිර්මාණය වීමට ඉඩ ඇතිබවත්, එමගින් සමාජය පුරා පැතිර යන රෝගවලින් වසර 50කින් පමණ සියලු දෙනාම මරණයට පත් විය හැකි බවත්, රිජ්වේ රෝහලේ (LRH) ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවැසීය.
නොවැම්බර් 18 සිට 24 දක්වා පැවැත්වෙන ‘ලෝක ප්‍රතිජීවක දැනුවත් කිරීමේ සතිය’ පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලොව ප්‍රතිජීවක විශේෂඥයින් පර්යේෂණ මගින් මෙය සොයාගෙන ඇති බවයි.
ප්‍රතිජීවක ඖෂධ මගින් බැක්ටීරියාවන් දුර්වල කර විනාශ කරන අතර, එය අධි මාත්‍රාවෙන් ගැනීමෙන් හිතකර බැක්ටීරියා පවා විනාශ වන බව ඔහු පෙන්වා දෙයි.
අවශ්‍ය අවස්ථාවලදී හැර අනවශ්‍ය ලෙස දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා නොදෙන ලෙස ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය. දරුවන්ට අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ලබා දීමෙන් ඔවුන්ගේ ශරීරය තුළ ප්රතිජීවකවලට ප්‍රතිරෝධයක් ඇති වේ.
ප්‍රතිජීවක ඖෂධ භාවිතා කළ යුත්තේ බැක්ටීරියා ආසාදනවලදී අවශ්‍යනම් පමණි. අදාළ පුද්ගලයාගේ වයස සහ බර ඇතුළු බොහෝ සාධක සැලකිල්ලට ගනිමින් වෛද්‍යවරු මෙය නිර්දේශ කරති.
“වෛරස් උණ සහ පාචනය සඳහා ප්‍රතිජීවක අවශ්‍ය නොවේ. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ සුළු තුවාල සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා ගත යුත්තේ වෛද්‍ය නිර්දේශය මත පමණක් බව” වෛද්‍ය දීපාල් පෙරේරා අවධාරණය කළේය.
නියමිත කාලය තුළ වෛද්‍යවරයා නියම කරනා මාත්‍රාවෙන් ප්‍රතිජීවක ගැනීම අත්‍යාවශ්‍ය බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් ප්‍රතිජීවක ඇතැම් රෝග සඳහා අත්‍යාවශ්‍ය බැවින් ඉදිරියේදී නව ප්‍රතිජීවක සොයා ගැනීමට නොහැකි වුවහොත් බැක්ටීරියා ආසාදන හේතුවෙන් සියලු දෙනාම මිය යන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.