පළාත් සභා ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් .

පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා මේ මොහොතේ රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය පවසයි . ඒ සඳහා වලංගුව පැවති නීතිය අහෝසි කිරීමෙන් පසුව, ඒ වෙනුවට සකස් කරමින් තිබූ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නතර වී ඇති බව ඔහු පෙන්වාදෙයි .

ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකයට වන බැවින්, ව්‍යවස්ථාදායකය වහාම ඒ පිළිබඳව තීන්දුවක් ගත යුතුව තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වැඩි දුරටත් පැවසීය .

2018 වසරේදී ඉදිරිපත් කරන ලද 50:50 මිශ්‍ර සමානුපාත ක්‍රමය තුළ සීමා නිර්ණය ද අනිවාර්ය අංගයක් විය. එහි කටයුතු අවසන් වී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු, විෂය භාර අමාත්‍යවරයා ඇතුළු මුළු පාර්ලිමේන්තුවම ඊට එරෙහි විය.

ඉන් අනතුරුව එය නිරවුල් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගේ කමිටුවක් පත් කරන ලද අතර, ඉන් අනතුරුව හිටපු කතානායක කරු ජයසූරිය ඇතුළත් තවත් කමිටුවක් පත් කරනු ලැබීය. කෙසේ වෙතත්, පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එහි කටයුතු අඩාල විය.