නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පෙත්සමක්

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

අදාළ පක්ෂයේ බලය ලත් නිලධාරී පරරාජසිංගම් උදය රාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. 

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු එහි සාමාජිකයින්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

සියලු ලේඛන විධිමත්ව ඉදිරිපත් කර තිබියදී සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු වන්නි දිස්ත්‍රික්කය සඳහා ලබන නොවැම්බර් මස 14 වනදා මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.