දියවඩන නිලමේ දළදා මාළිගාවේ ඉඩම් විකුණලා

ශ්‍රී දළදා මාළිගාවේ වැඩබලන දියවඩන නිලමේ නිලංග දෑලට එහි වත්කම් අවභාවිත කිරීම වැළැක්වීමේ නියෝගයක් කඩිනමින් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කරඇත.

සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත විසින් ගොනුකර ඇති එම පෙත්සම මගින් දළදා මාළිගාව සතු සියලුම දේපළවල සම්පූර්ණ විගණනයක් සිදුකරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා තිබේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සහ වැඩබලන දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු පාර්ශව කිහිපයක් වග උත්තර කරුවන් කරමින් මෙම පෙත්සම ගොනුකර ඇත . දළදා මාළිගාවේ පාලන කටයුතු සඳහා භාරකරුවෙක් පත්කරනා ලෙසද පෙත්සම්කරු ඉල්ලා සිටී.

පෙත්සම්කරුගේ ප්‍රධාන තර්කය වන්නේ විහාර හා දේවාල ගම් පනතට අනුව දළදා මාලිගාවට අයිති ප්‍රවේණිගත දේපළ පැවරීම, බදු දීම හෝ විකිණීම (අන්සතු කිරීම) මුළුමනින්ම තහනම් බවයි. එහෙත් වත්මන් වැඩබලන නිලමේවරයා විසින් පසුගිය කාලසීමාව තුළ මෙම දේපළ අවභාවිත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පෙත්සම් කරු අධිකරණයට සිය පෙත්සම මගින් කියා සිටී . උඩ ගෙදරවත්ත සහ දූලදෙනියවත්ත යන ඉඩම්වල කොටස් විකුණා ඇති බවට තොරතුරු උදාහරණ ලෙස පෙත්සමෙහි දක්වා ඇත.

මේ නිසා, දළදා මාලිගාවට අයත් සියලුම නිශ්චල දේපළ සහ වත්කම් තවදුරටත් අන්සතු කිරීම, පැවරීම හෝ විකිණීම වැළැක්වීමට නියෝගයක් පනවන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.