‘දඹුල්ල තන්ඩර්ස්’ හිමිකරුවන් ඉල්ලූ වාරණ නියෝගය ප්‍රතික්ෂේප වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලියට තරග කරන දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනත් පාර්ශ්වයකට පැවරීමට එරෙහිව ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරු ඉල්ලා සිටි වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කළ ඩුබායි රාජ්‍යයේ ඉම්පීරියල් ස්පෝට්ස් ගෲප් සමාගම ගොනු කළ නඩුවක් ඊයේ (24) කොළඹ දිසා අධිකරණය විසින් විභාග කිරීමෙන් අනතුරුවයි ඔවුන් ඉල්ලා සිටි එම වාරණ නියෝගය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ පාර්ශ්වකරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ‘දඹුල්ල සික්සස්’ කණ්ඩායම නඩුවේ පාර්ශ්වකරුවන් ලෙස ඉදිරිපත් කර නොමැති බැවින් පැමිණිල්ල සලකා බැලිය නොහැකි බව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

අවශ්‍ය නම් පැමිණිල්ල සංශෝධනය කර සතියක් තුළ ඉදිරිපත් කරන ලෙස ද කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා වැඩිදුරටත් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කර තිබෙනවා.