ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනාධිපතිට දොස්

සමාජ පරිහානියට හේතුවන අදුරදර්ශී නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් තරිනිකායික මහනාහිමිවරුන් සිය විරෝධය දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර ඇත .

රටක සංස්කෘතික අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය මෙන්ම චිරාගත ආචාර්යධර්ම ආදිය නොතකා කටයුතු කිරීමට රාජ්‍ය පාලනය කරන්නන් උත්සාහ දරන්නේ නම් එය රාජ්‍යය අරාජික බවට පත්කර සමස්ත සමාජය බිඳ වැටීමට හේතුවන්නක් බව උන්වහන්සේලා පවසති .

වර්තමාන රජය මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 82 වන වගන්තියට ශාරීරික දඬුවම් කිරීමේ වරද නමින් යෝජිත සංශෝධනය මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සමලිංගික සේවනය පදනම් කරගත් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට අනුග්‍රහය ලබාදීම එවන් බරපතල සාරධර්මමය ආරාජිකත්වයක් හා සමාජ අර්බුද ගණනාවක් ඇති කිරීමට හේතුවන්නක් බව සංවේගයෙන් යුතුව අවධාරණය කර සිටිනා බව මහනාහිමිවරු එම ලිපියේ සඳහන් කරති.

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමු කර තිබෙනවා.