තහඩුවක් ගියොත් ලක්ෂ පහක් ගෙවනා වැඩෙන් ග්‍රාම නිළධාරීන් ඉවත් වෙති

සුළි කුණාටුව හේතුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ පහක දීමනාවක් ගෙවීමේ ක්‍රියාවලියෙන් සමස්ත ග්‍රාම නිලධාරීන් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ පැවසීය .

මෙම දීමනාව ගෙවීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව චක්‍රලේඛය බරපතල අඩුපාඩු සහ අවදානම් තත්ත්වයන් සහිත එකක් බවත්, එම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ රජයේ ගණකාධිකාරීවරුන්ගේ සංගම් දැනටමත් මෙම කටයුතුවලින් ඉවත් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් එම දීමනා ගෙවීමේ සම්පූර්ණ වගකීම ග්‍රාම නිලධාරීන් මත පැටවී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය. ඒ අනුඅ පවතින අවදානම සැලකිල්ලට ගෙන ග්‍රාම නිළධාරීන් මෙම කටයුතුවලින් ඉවත්වීමට තීරණය කරනාලද බව ඔහු පවසයි .

චක්‍රලේඛයට අනුව පැහැදිලි තක්සේරුවක් හෝ නිර්ණායක ලබා දී නොමැති බවත්, නිවසක බිත්තියක ඉරක් ගියත් හෝ වහලයේ තහඩුවකට හානි වුවත් ලක්ෂ පහක සම්පූර්ණ මුදලම ගෙවිය යුතු ද යන්න පිළිබඳව බලධාරීන් පැහැදිලි කර නැත.

රජයේ මුදල් ගෙවීමේදී ඒවා විගණනයට යටත් වන බැවින්, තාක්ෂණික නිලධාරීන්ගේ සහය සහ නිසි තක්සේරුවක් නොමැතිව ගෙවීම් සිදු කිරීමෙන් ඉදිරියේදී පැනනගින විගණන ගැටලු සඳහා වගකීම ගැනීමට ග්‍රාම නිලධාරීන්ට නොහැකි බව ඔහු අවධාරණය කරයි.

පවතින චක්‍රලේඛය අනුව අනවසර පදිංචිකරුවන්ට ද මෙම ලක්ෂ පහක වන්දිය ලබා ගැනීමට හිමිකම ලැබී ඇත. එක් පැත්තකින් ඔවුන් ඉවත් කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී මෙලෙස වන්දි ගෙවීම හරහා ඔවුන්ගේ පදිංචිය නීත්‍යානුකූල වීමේ අවදානමක් පවතින බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.

කුළී නිවාසයකට සිදුවූ හානියකදී වන්දිය හිමිවන්නේ පදිංචිකරුවන්ටද නැතිනම් නිවාස හිමියන්ටද යන්න පිළිබඳව විධිමත් මාර්ගෝපදේශයක් නොමැති බව ඔහු අවධාරණය කරයි .

තාක්ෂණික නිලධාරීන්ගේ සහයෝගය සහ විධිමත් තක්සේරුකරණයකින් තොරව මෙම වන්දි ගෙවීමේ කටයුතුවලට සම්බන්ධ වීමට ග්‍රාම නිලධාරීන්ට හැකියාවක් නොමැති බවත්, ඒ අනුව මෙම කටයුතුවලින් සමස්ත ග්‍රාම නිලධාරීන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ අවධාරණය කළේය .