ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 12 ක්

කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය මගින් රුපියල් මිලියන 12.3 ක මුදලක් මහ භාණ්ඩාගාරය වෙත පරිත්‍යාග කිරීම අද (14) කම්කරු අමාත්‍යංශයේ දී සිදු කෙරිණ.

මහා භාණ්ඩාගාරයට එම මුදල ලබාදීම වෙනුවෙන් ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඊ. අබේසිරිවර්ධන මහතා විසින්, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත එම මුදල පරිත්‍යාග කළ අතර, නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යංශ ලේකම් එස්. එම්. පියතිස්ස සහ එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මුදල්) මොහාන් පෙරේරා යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

ජාත්‍යන්තර මට්ටමෙහි වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සේවාවන් ලබාදෙමින්, රට පුරා පෞද්ගලික අංශයේ සියලු කර්මාන්ත ශාලා, වැඩබිම්, සේවා ස්ථානයන්හි සුරක්ෂිතතා සහ යහපත් සෞඛ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමත්, විවිධ සමාජ ආරක්ෂණයන් ප්‍රවර්ධනය කිරීමත් මෙම ආයතනය මඟින් ක්‍රියාත්මක කරන බව ද ඊ. අබේසිරිවර්ධන මහතා පවසයි.

එම අරමුණු පෙරදැරි කරගනිමින්, සහතික පත්‍ර පාඨමාලා, එක්දින – දෙදින වැඩමුළු, සම්මන්ත්‍රණ, කෙටිකාලීන පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා සාධාරණ අයකිරීමක් මඟින් පවත්වන බවත්, සේව්‍ය – සේවක දෙපාර්ශ්වයම දැනුම්වත් කරමින් සුරක්ෂිතතාවය සහ සෞඛ්‍ය පිළිබඳව වෘත්තීමය වශයෙන් දැනුම්වත් කිරීම්, පුහුණු කිරීම්, කර්මාන්ත ශාලාවල භාවිතයට ගන්නා යන්ත්‍ර සූත්‍රවල ආරක්ෂාකාරි තත්ත්වය වැඩි දියුණු කිරීම, නිසි ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත ආවරණ නිර්මාණය කිරීම ඇතුළු කටයුතු ගණනාවක් මෙම ආයතනය මඟින් සිදුකරන බව ද ඔහු මෙහිදී පෙන්වා දෙනු ලැබිණි.