ගිය අවුරුද්දේ ළමුන් 10,000 අපයෝජනයට ලක්වෙලා.

ඉකුත් 2023 වසරේ ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 10,000කට ආසන්න සංඛ්‍යාවක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබෙන බව වාර්තා වෙයි .

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ, පසුගිය වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 9,434ක් ලැබී ඇති බවයි.

ළමයින් ක්‍රෑරත්වයට භාජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2,242, ලිංගික අතවරයට ලක් කිරීම් සම්බන්ධ පැමිණිලි 472ක්, බරපතළ ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 404ක්, ගැහැනු ළමුන් දූෂණය කිරීම් සම්බන්ධ පැමිණිලි 51ක් සහ අසභ්‍ය පළ කිරීම්වලට ළමුන් යොදා ගැනීම් සම්බන්ධ පැමිණිලි 06ක් ඒ අතර වන බව සඳහන් වෙයි.

ඊට අමතරව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදා ගැනීම, ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම්, ගෘහස්ථ හිංසනය මඟින් පීඩාවට පත් කිරීම්, නොසලකා හැරීම, පැහැරගෙන යාම, තුවාල සිදුකිරීම, ළමුන් අලෙවිකිරීම, පාසල් අධ්‍යාපනය ලබානොදීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව උදය කුමාර අමරසිංහ තවදුරටත් සඳහන් කළේය .

2022 වසරේ දී ළමා අපයෝජන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 7,466ක් ලැබී තිබෙන බවත් මෙම ළමා අපයෝජන පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විට අදාළ අංශ වෙත යොමුකර ඇති බවත් කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසීය .