ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාව නිසා ලං.වි.ම ට කෝටි 750 කට වඩා පාඩුයි .

ටෙන්ඩර් කැඳවීම පමා කිරිම, ලියාපදිංචි සැපයුම් කරුවන්ගේ සුදුසුකම් අවම කිරීම, ඇතුළු වංචනික ක්‍රියා රැසක් සිදුව ඇති බැවින් මෙම ගණුදෙනුව ආරම්භයේ සිටම සැක සහිත බව තමන් පැවසූ බවත්, අද එය සනාතව අති බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම මෙම සමාගම මීට පෙර අවස්ථාවක සතොස ට සහල් සැපයීමේදී වංචාසහගතව කටයුතු කර ඇතිබව විඝණකාධිපටහි වාර්තාවක පවා සඳහන් වන බව ඔහු පැවසීය

පසුගියදා මහනුවර පැවති මහජන හමුවකදී අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

”විදුලි ජනනය සඳහා ආනයනය කළ ගල් අඟුරු වල ගුණාත්මක ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් උද්ගත වී තිබෙනවා..අපි මේ ගැන මුලින්ම හෙලිදරව් කලේ ගල් අඟුරු ටෙන්ඩරය 2025 සැප්තැම්බර් 15 වැනිදා ලබාදීමෙන් අනතුරුව සැප්තැම්බර් 28 වැනිදා “උත්තරය අපි” නමින් පොළොන්නරුව, බැඳිවැව, සුජා හෝටල් ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේදී. ටෙන්ඩරය අවම ලංසුව ඉදිරිපත් කළ Trident Chemphar නම් සමාගමට හිමිවුණා. නමුත් ඒ ටෙන්ඩරය මේ සමාගමටම දීමේ අරමුණෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කලාද කියන සැකය අපි එදාම මතුකළා.

එහිදී කරුණු දෙකක් අප එදා කිව්වා. වෙනදා පෙබරවාරි වනවිට ටෙන්ඩර් කැඳෙව්වත් මෙවර එය ජුලි දක්වා කල් ගියා. ඒ කාලය අතර මේ සමාගම ලියාපදිංචි වුණේ. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචි වීමට ඉඩ දීමටද කාලය ගත්තේ? දෙවැන්න වෙළඳ අත්දැකීම. මෙතෙක් ගල් අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක වලට අනුව GCV 5900 kCal/kg ප්‍රමිතිය සහිත ගල් අඟුරු අවම වශයෙන් මෙට්‍රික් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල් අඟුරු වෙළඳාමක් කළ සමාගම් පමණයි ලියාපදිංචි කරන්නේ. නමුත් 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් 100,000ක් දක්වා දහයෙන් එකකට වෙනස් කරලා. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචිය දීලා තියෙන්නේ සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් මිලියන 1 සිට මෙට්‍රික් ටොන් 100,000 දක්වා 90%කින් අඩු කරලා. මේක පැහැදිලිව සැක සහිතයි.

අනෙක අපි මේ සමාගමේ විශ්වසනීය බවත් ප්‍රශ්න කළා. මේ Trident Chemphar සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා. මෙම සමාගම 2014 දී සතොසට සහල් මෙට්‍රික් ටොන් 30,000ක් සැපයීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව 2016/09/20 දින රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ 168 පිටුවේ සඳහන් වෙනවා.

ඒ විතරක් නෙවෙයි, Trident Chemphar සමාගමේ හිමිකරුවෙකු වන සරත් චන්ද්‍ර රෙඩ්ඩිව 2022 දී නවදිල්ලියේ සුරා බදු වංචාවක් හරහා මුදල් විශුද්ධකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා.

හිමිකරුවාට අමතරව Trident Chemphar හි දේශීය නියෝජිතයා වන සරත් බණ්ඩාර ජයසුන්දරටත් දූෂණ චෝදනා තිබෙනවා. ක්‍රිකට් කුසලතා විශ්ලේෂකයෙකු ලෙස වෘත්තියේ නිරතවූ ඔහුට තරඟ පාවදීමේ චෝදනා මත.2019 සිට වසර 7ක තරඟ තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පනවා ඇති බවට ප්‍රවෘත්ති තිබෙනවා.
පෙනෙන ආකාරයට ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පවා වෙනස් කරමින් මේ ආණ්ඩුව යටතේ ගල් අඟුරු ටෙන්ඩරය ලබාදුන් සමාගමට, එහි හිමිකරුවන්ට සහ දේශිය නියෝජිතයාට පවා දූෂණ චෝදනා තිබෙනවා.

ඒ අතර මේ ගෙන්වා තිබෙන ගල් අඟුරු වල ප්‍රමිතිය ටෙන්ඩරයේ ගිවිසුම්ගතවූ GCV 5900 kCal/kg ප්‍රමිතියට වඩා බාල බව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලිබල අමාත්‍යංශ රසායනාගාර වාර්තාවෙන් තහවුරු වෙනවා. ඒවා තිබෙන්නේ 5600-5800 kCal/kg සීමාවේ. ගල් අඟුරු කිලෝග්‍රෑමයකින් ජනනය වන ශක්තිය අඩු වෙනවා කියන්නේ අපට අවශ්‍ය නිශ්චිත විදුලි ප්‍රමාණය නිපදවා ගන්න වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ ආකාරයට බාල ගල් අඟුරු ගෙන්වීම නිසා අපට අපේක්ෂිත ප්‍රමාණයට වඩා රුපියල් කෝටි 750-760 තරම් අමතර මුදලක් වටිනා ගල් අඟුරු මිලදී ගන්න වෙනවා.

මේ නිසා අපට සිදුව ඇති අලාභය රුපියල් කෝටි 750ක් පමණ කියලා හිතමු. ආණ්ඩුව දිට්වා කුණාටුවේ හානිපූරණ වියදම සහ ලංවිම මස් කරද්දී සේවකයන්ට වන්දි දෙන වියදම විදුලි ගාස්තුවට ඇතුළු කරන ලෙස මේ වංචාවේ බරත් ජනතාව මත පටවන්න ඉඩ තිබෙනවා. ජනාධිපතිවරයාට අපි බල කරනවා වහාම මේ ගල් අඟුරු ටෙන්ඩරය ගැන අපක්ෂපාතී හා පාරදෘශ්‍ය විමර්ශනයක් කර වගකිවයුත්තන්ට දඬුවම් දෙන්න කියලා. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වංචා වල බර විදුලි ගාස්තු හරහා ජනතාව මත පැටවීමට ඉඩ දෙන්න එපා කියලා.”