පොහොය දිනවලට අනුරාධපුර ශ්රී මහා බෝධීන් වහන්සේ පසුකරගෙන යාපනයට පැමිණීමේදී එහි ඇත්තේ සීලය නොව වෛරය බව ජනාධිපති අනුර දිසානායක යාපනයේදී සිදු කළ ප්රකාශය නැති අයිතියක් ආරෝපණය කර ගැනීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි .
වන්දනාමාන සඳහා බෞද්ධයින් යායුතු විහාරස්ථාන පිළිබඳව තීරණය කිරීමට රටේ ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් නොමැති බව ඔහු වැඩි දුරටත් පැවසීය. ජනාධිපතිවරයා යාපනයේ සිදුකරන ප්රකාශ හරහා උතුරේ ජනතාවගේ සහ ඩයස්පෝරාවේ ආකර්ෂණය දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින බවත්, අනෙකුත් ජන කොටස්වලට ඇති අයිතිවාසිකම් ඔහු අමතක කරනාබවත් විමල් වීරවංශ එහිදී පැවසීය .
දකුණු ඉන්දීය ආක්රමණිකයෙකු වූ එළාර මිය යන මොහොතේ ‘සිංහලයෙකු වී හෝ මෙම ජාතියෙන් පළිගන්නා බව’ පැවසූ බවට ජනප්රවාදයක් ඇති අතර, වත්මන් ජනාධිපතිවරයාගේ ක්රියාකලාපය දෙස බලන විට එම එළාරගේ ආත්මය වැහී ඇති අයුරක් තමන්ට පෙනෙන්නට තිබෙන බවත් ඔහු ප්රකාශ කළේය .