ඊශ්‍රායලයේදී ගෙළ කපා මැරූ ලාංකිකයාගේ දේහය ශ්‍රී ලංකාවට.

ඊශ්‍රායලයේදී ගෙළ කපා ඝාතනය කර ඇතැයි කියන 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයාගේ මෘතදේහය සතියක් තුළ ශ්‍රී ලංකාවට එවීමට හැකිවනු ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මාධ්‍යට පවසා ඇත .

ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කළ පළමු අවස්ථාව මෙය බව ද තානාපතිවරයා පවසා තිබේ.

ඝාතනයට ලක්වූ තරිඳු ශානක නමැත්තා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩු කාර්මිකයෙක් ලෙස සේවය කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඊශ්‍රායලට පැමිණ ඇත. ඔහු ගාල්ල, අම්බලන්ගොඩ, බටපොල පදිංචිකරුවෙකි .

අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයකු සමග ඇතිකරගත් බව කියන සිද්ධියකින් පසු ඔහු විසින් මෙම ඝාතනය කර ඇති බවක් පැවසේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අවට CCTV දර්ශන උපයෝගි කරගෙන ඊශ්‍රායල් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගන්නා තෙක් නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ද තානාපතිවරයා පවසයි.

මියගිය පුද්ගලයාගේ සිරුර ලංකාවට ගෙන්වා දෙන ලෙස ඔහුගේ බිරිඳ තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඊයේ වනවිට මෘතදේහය වෝහාරික වෛද්‍ය ආයතනයේ පැවැති බවත් හෙතෙම සඳහන් කරයි.

මෘතදේහය මෙරටට ගෙනඒම සඳහා රුපියල් ලක්ෂ 15ක් පමණ වැයවන බවත්, එම මුදල තානාපති කාර්යාලය මගින් (රක්ෂණ ආවරණය) වැයකර මෘතදේහය දිවයිනට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් තානාපතිවරයා පවසයි.