ඉරාන නාවිකයන්ගේ මරණවලට හේතුව හෙළිවෙයි

ගාල්ලට නුදුරු ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඇමරිකානු සබ්මැරීනයකින් එල්ලවූ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ නෞකාවේ සිටි ඉරාන නාවිකයින් අසූ හතර දෙනාගෙ මරණ පරීක්ෂණ පවත්වා නිම කර ඇත .

මියගිය නාවිකයන් බහුතරයකගේ මරණයට හේතුව වී ඇත්තේ ඔවුන් විසි වීමෙන් ශරීර අවයව වලට බරපතල තුවාල සිදුවීම බව පශ්වාත් මරණ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

නෞකාවට ප්‍රහාරය එල්ලවීමත් සමග නෛකාව පුපුරා ගොස් තිබීමත්, නෞකාව තුළ සිටි පිරිස් විසි වී යෑමෙන් හා නෞකාවේ කොටස් සිරුරේ අවයවවල ගැටීමෙන් හිස,පපුව,උදරය ඇතුළු ප්‍රදේශවලට බරපතල තුවාල වීම් බොහෝ පිරිසක් මරණයට පත්ව තිබෙන බව මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත.

එසේම මියගිය කිහිපදෙනකුගේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල නොවූ බවත්, ඔවුන් දියේ ගිලීමෙන් මියගොස් සිටි බව අනාවරණය වූ බවද හෙතෙම පවසා ඇත.

මෙම නෞකාවේ සිටියෙදී මියගිය ඉරාන නාවිකයන් 84 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී බ්‍රහස්පතින්දා සවස සිට සිකුරාදා අළුයම වන තෙක් සිදුකෙරිණි.

මෙම මරණ පරීක්ෂණ සඳහා කරාපිටිය අධිකරණ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා ප්‍රමුඛ අධිකරණ විශේෂඥ වෛද්‍ය මඩුල්ලක් සහභාගී විය.