ඇමති ලාල්කාන්ත තම ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතුයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ව ‘මිහින්තලේ වනචාරියා’ යනුවෙන් ඇමතීම සම්බන්ධයෙන් ජාතික සංඝ සභාවේ සභාපති පූජ්‍ය ලියන්වෙල ශාසනරතන හිමියන් අදහස් දක්වා තිබුණා.

උන්වහන්සේ සඳහන් කලේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු රටේ දරුවන්ගේ අනාගතය තීරණය කරන නමුත් අප රට ථේරවාදී බුදුදහමෙන් පෝෂිත වූ රටක් ලෙස අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුතු ආකාරයක් පවතින බවත්, මෙවැනි ප්‍රතිසංස්කරණයක් සිදු කරන විට ආගමික නායකියින් ඇතුළු විද්වත්, බුද්ධිමත් මෙන්ම දාර්ශනික මතවාදයන් ඒකරාශී කර ගනිමින් ව්‍යවස්ථාදායකය තුළ පක්ෂ විපක්ෂ සියලු දෙනා සාකච්ඡා කරමින් මෙය සිදු කළ යුතු බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ දේශනාව මත පදනම් වී රට ‘කාබාසිනියා’ කරනු ලබන කූඨ උපක්‍රම න්‍යාය පත්‍රයන්වලට අභියෝග කිරීමේ අයිතිය තමන් වහන්සේ ඇතුළු ආගමික නායකයින්ට ඇති බවයි.

රටේ දෙවැනි පුරවැසියා වූ අගමැති හරිනි අමරසූරිය මෙන්ම ප්‍රභුවරු, රාජ්‍ය සේවකයින් ඇතුළු පිරිසක් සිටින ස්ථානයක ‘මිහින්තලේ වනචාරියා’ යනුවෙන් මිහින්තලා රාජමහා විහාරාධිපති හිමියන්ව ඇමතීම ඉතාමත් පහත් ක්‍රියාවක් බවත්, රටේ බිහිවූ කිසිදු දේශපාලකයෙකු මෙලෙස මහා සංඝරත්නයට අපහාස කර නොමැති බවද උන්වහන්සේ පැවසුහ .

ඒ හේතුවෙන් අමාත්‍ය ලාල්කාන්ත මහතා එම ප්‍රකාශය ඉල්ලා අස් කරගත යුතු බවද උන්වහන්සේ සඳහන් කරති .